ඇක්ටිව් සොලියුෂන්ස් හා Synology මෙරට දත්ත ගබඩාකරණයේ වසර 15 ක ව්‍යාපාරික සබඳතාව සමරයි

    September, 5, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දත්ත ගබඩාකරන සමාගමක් වන ඇක්ටිව් සොලියුෂන්ස් හා  Synology Inc. අතර ව්‍යාපාරික සබඳතාවයේ 15 වන සංවත්සරය සමරයි. මේ වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් පසුගියදා කොළඹ දී පැවැත්විණ.
    වසර 15ක් සම්පූර්ණ වූ සිය ව්‍යාපාරික සබඳතාව සංකේතවත් කරමින් දෙපාර්ශවය විසින් මෙහිදී විශේෂ සම්මාන හුවමාරු කරගත් අතර එම අවස්ථාවට Synology Inc. හි අලෙවි කළමණාකරු මයික් ෂෙයි සහ ඇක්ටිව් සොලියුෂන්ස්හි ප්‍රධාන විධායක නිලධාරි අහමඩ් ෂහීර් සහභාගි විය. ඉන් අනතුරුව එම අවස්ථාවට එක්ව සිටි අලෙවිකරුවන් වෙනුවෙන්  Synology Inc. හි නවතම විශේෂාංග පිළිබඳව පුහුණු වැඩසටහනක්ද  Synology Inc. හි අලෙවි  කළමණාකරු මයික් ෂෙයි විසින් පවත්වනු ලැබීය.
    2003 වසරේදී ආරම්භ වූ ඇක්ටිව් සොලියුෂන්ස් ආයතනය සියලුම  Synology නිෂ්පාදන සදහා මෙරට අලෙවි නියෝජිතවරයා ලෙස 2004 වසරේදී පත්විය. විශාල පරිමාණයේ දත්ත ගබඩාකරණ අවශ්‍යතා සපූරාලීම සඳහා වන ආරක්ෂිත ක්‍රමවේද රැසක් සහිතව හඳුන්වා දුන් The Synology Network-Attached Storage (NAS) මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ ව්‍යාපාර ගණනාවකටම අලෙවි කළේ ඇක්ටිව් සොලියුෂන්ස් විසිනි. මෙහිදී  ඇක්ටිව් සොලියුෂන්ස් විසින් උපාංග දෝෂ වලදී දත්ත  සුරක්ෂිතව තබා ගැනීම ආදී ඒ හා සම්බන්ධිත සේවා රැසක් ද ඉටු කරනු ලැබීය. වසර කිහිපයක් තුළදී ඇක්ටිව් සොලියුෂන්ස්හි සේවාලාභී සමාගම් ලැයිස්තුව තුළ Synology පාරිභෝගිකයින් සංඛ්‍යාව සැලකියයුතු මට්ටමින් ඉහළ ගියේය. ඒ අතර මෙරට ප්‍රමුඛ පෙළේ රෝහල්, රූපවාහිනී ආයතන, රක්ෂණ සමාගම්, බ්ලූචිප් සමාගම් ආදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් වෙයි.
    වසර 2000 දී පිහිටුවනු ලැබූ Synology තායිවානය කේන්ද්‍ර කරගත් තාක්ෂණික සමාගමක් වන අතර සිය පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා දත්ත කළමණාකරණය, ආරක්ෂාව මෙහෙයවීම, සහ වත්මන් ක්ලවුඩ් යුගයේ ජාල කළමණාකරණය ආදී සේවා පවත්වාගෙන යාමට  Network-Attached Storage (NAS), IP surveillance solutions, සහ network equipment සපයනු ලබන ප්‍රමුඛතම සමාගමකි. Synology නවීන තාක්ෂණය යොදාගනිමින් සිය පාරිභෝගිකයින් වෙත උසස්තම සේවාවක් සපයන සමාගමක් බවට මේ වන විට පත්ව තිබේ.
    මෙම අවස්ථාව ඇමතතු ඇක්ටිව් සොලියුෂන්ස් හි ප්‍රධාන විධායක නිලධාරි අහමඩ් ෂහීර් මහතා සඳහන් කළේ  ලෝකයේ නවීනතම දත්ත ගබඩාකරන තාක්ෂණය ශ්‍රී ලංකාවට හදුන්වාදෙන සමාගමක් වශයෙන් Synology සමාගම  හැඳින්විය හැකි බවයි. එවැනි ප්‍රමුඛ සමාගමක් සමග  වසර 15ක් තිස්සේ අඛණ්ඩව විශ්වසනීය ලෙස වෙළඳ සබඳතාවක් පවත්වාගැනීමට හැකිවීම පිළිබඳ ආඩම්බර වන බව පැවසූ ඒ මහතා තවත් වසර ගණනාවක් ඉදිරියට මෙම සබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. ආරක්ෂාකාරී විශ්වසනීය ආකාරයට දත්ත ගබඩාකර ගැනීමට අවශ්‍ය ඕනෑම තරාතිරමක ආයතනයක් වෙත සේවා සැපයීම සහ නවීන තාක්ෂණය සහ කාර්යක්ෂම භාවය උපරිමයෙන් පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. සිය සේවා සැපයීමේදී වසර ගණනාවක පළපුරුද්ද මෙන්ම අලෙවියෙන් පසු විශේෂඥ සේවා සැපයීම යනාදී කරුනු රැසක් නිසා පාරිභෝගිකයාට ඉතා සමීප සේවාවක් සැපයීමට තම සමාගමට හැකිව ඇති බව ඒ මහතා පැවසීය. ඇක්ටිව් සොලියුෂන්ස් යනු ඉහත කී සියලුම සේවාවන් ඉතා පහසුවෙන් අත්පත් කරගත හැකි පාරිභෝගිකයාට වඩා සමීප සේවාවක් සපයන සමාගමක් බවද හෙතෙම අවධාරණය කළේය.
    Synology Inc. හි අලෙවි කළමණාකරු මයික් ෂෙයි  මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ Synology Inc. හි පැරණිතම ඛෙදාහරින්නකු වශයෙන් ඇක්ටිව් සොලියුෂන්ස් හැඳින්විය හැකි බවයි. මෙම ව්‍යාපාරික සබඳතාව වසර 15කට අධික කාලයක් තිස්සේ වර්ධනය වූ සබඳතාවක් බව ද හෙතෙම සඳහන් කළේය. ජාත්‍යන්තර ප්‍රමුඛ සමාගමක් වශයෙන් උසස් තත්වයේ පාරිභෝගික සේවා සපයන ලොව පුරා විවිධ සමාගම් සමග සමීපව කටයුතු කරන බවත්  එහිදී ඇක්ටිව් සොලියුෂන්ස් ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
    Synology නිෂ්පාදන වලට අමතරව ඇක්ටිව් සොලියුෂන්ස් විසින් VPN, Data Recovery, Managed Wi-Fi, Network Troubleshooting සහ IT Consultancy ආදී සේවා සපයනු ලබයි. මීට අමතරව මෙම සමාගම වෙනත් ජාත්‍යන්තර සන්නාම රැසක් සමග ද කටයුතු කරන අතර සිය පාරිභෝගිකයින්ගේ සහ අලෙවිකරුවන්ගේ අවශ්‍යතා අනුව ඔවුන්ට උපරිම පහසුකම් සපයමින් කටයුතු කරනු ලබයි.