ඇට්ලස් අඛණ්ඩව තුන්වැනි වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM සම්මාන දිනයි

    March, 31, 2022

    SLIM-Kantar People’s Awards 2022 හිදී විශිෂ්ටතම FMCG Youth සන්නාම 5 අතරටද එක්වේ

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ලිපිද්‍රව්‍ය සන්නාමය වන ඇට්ලස්, අඛණ්ඩව 3 වන වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM ජනතා සම්මාන හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. 2022 මාර්තු 21 දින පැවති ‘2022 SLIM-Kantar People’s Awards’ හිදී එම සම්මානය ඇට්ලස් වෙත පිරිනමන ලදි. ඇට්ලස් ඇක්සිලියා සමාගමේ (Atlas Axillia Co. Ltd) කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා සමාගම වෙනුවෙන් එම සම්මානය පිළිගත් අතර, සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකා කෞශාලි කුසුමපාල මහත්මිය සහ විකිණුම් අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් බින්දුහේවා මහතා සමග ඇට්ලස් ඇක්සිලියා කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. මීට අමතරව තරුණ පරපුරේ තේරීම අනුව වසරේ විශිෂ්ටතම FMCG Youth සන්නාම 5 අතරට එක්වීමටද සමාගමට හැකියාව ලැබිණි.

    ජනතාවගේ කැමැත්ත අනුව ජයග්‍රාහකයන් තෝරාගනු ලබන එකම වෙළඳ නාම සම්මාන වැඩසටහන SLIM People’s Awards වැඩසටහනයි. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛතම පර්යේෂණ සමාගම් අතරින් එකක් වන Kantar LMRB විසින් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුකරන ලද පුළුල් සමීක්ෂණයකින් අනතුරුව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන පිරිනමන ලදි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා කියා සිටියේ, සමාගම වෙත මෙම ඇගයීම හිමි වීම තමන්ට මහත් සතුටක් හා ගෞරවයක් බවයි. “දිවයිනේ ප්‍රමුඛතම පාසල් සැපයුම් සන්නාමයක් ලෙස අප දශක 6 කට අධික කාලයක් තිස්සේ රටේ දරුවන්ට හොඳම දේ ලබාදුන්නා. වර්තමානය වනවිට අප හුදෙක් ලිපිද්‍රව්‍ය නිෂ්පාදනයෙන් හා අලෙවියෙන් ඔබ්බට ගොස්, විවිධාකාර අධ්‍යාපන උපකරණ, අන්තර්ගතයන් හා අත්දැකීම් ඔස්සේ සන්නාම ප්‍රතිඥාව ඉටුකරන ඉගෙනුම් සන්නාමයක් බවට පත්වී තිබෙනවා. අපගේ නිෂ්පාදන වලට සහ සමාජ සත්කාරයන්ට මූලික පදනම වන්නේ ‘ඉගෙනුම විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීම’ යන අරමුණයි. නිෂ්පාදන කටයුතු හා නවෝත්පාදනය සම්බන්ධ අපගේ දැක්ම ඔස්සේ අපගේ නිෂ්පාදන එකතුව, ඉගෙනුම විනෝදාත්මක හා ප්‍රායෝගික අත්දැකීමක් බවට පත්කරන සහ මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් මහඟු කාර්යභාරයක් ඉෂ්ට කරන මෙවලම් එකතුවක් බවට පත්වී තිබෙනවා. ඇට්ලස් සන්නාමය තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වීමට මෙයත් එක් ප්‍රධාන හේතුවක්. Youth Choice සම්මාන කාණ්ඩයට අප නිර්දේශ වීම, මේ ජනප්‍රියත්වයට පැහැදිලි සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකියි.” අසිත සමරවීර මහතා වැඩිදුරටත් පැවසී ය.

    රටේ කාලීන අධ්‍යාපන අවශ්‍යතා පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් ඇට්ලස් සමාගම සතු වේ. COVID-19 රෝග ව්‍යාප්තිය අතරතුර මාර්ගගත අධ්‍යාපනය ලබාදීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් පළමුවෙන්ම ආරම්භ කිරීමට මෙන්ම, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පළමු වරට මාර්ගගත අධ්‍යාපන සැසි ආරම්භ කිරීමට සමාගම කටයුතු කළේ ඒ හේතුවෙනි. එමෙන්ම ‘ඇට්ලස් සිප්සවි’ වැඩසටහන ඔස්සේ මූල්‍යමය ශිෂ්‍යත්ව ලබාදීම, පාසල් වල පහසුකම් වැඩිදියුණු කිරීම සහ පාසල් වලට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ආදිය ඔස්සේ දරුවන් සියලුම දෙනාට සමාන අධ්‍යාපන අවස්ථා සහතික කිරීමට සමාගම කැපවී කටයුතු කරමින් සිටී.

    “මේ උත්සාහයන් කෙතරම් සාර්ථක වී තිබේද යන්න, වසර තුනක් අඛණ්ඩව අපට ජනතා සම්මාන හිමිවීම මගින් හොඳින් පැහැදිලි වනවා. ඒ සාර්ථකත්වය මෙන්ම අපගේ අනාගත සැලසුම් පිළිබඳව අප තුළ ඇත්තේ නිහතමානී සතුටක්.” අසිත සමරවීර මහතා වැඩිදුරටත් පැවසී ය.

    ඇට්ලස් ඇක්සිලියා (පුද්.) සමාගම 1959 වසරේදී ආරම්භ වූයේ සිලෝන් පෙන්සිල් කම්පනි (පුද්.) සමාගම යන නමින් වන අතර, මේ වනවිට එම සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාසල් ලිපිද්‍රව්‍ය නිෂ්පාදක සමාගමක් බවට පත්වී ඇත. ඉගෙනුම විනෝදමත් අත්දැකීමක් බවට පත්කිරීමේ අරමුණ මුල්කරගත් ඇට්ලස් සන්නාමය ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට බෙහෙවින් සමීප සන්නාමයක් බවට පත්වී තිබේ. ඒ නිසාම එම සමාගම 2021 වසරේදී අඛණ්ඩව දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ අංක එකේ පාසල් උපකරණ සන්නාමය ලෙස People’s Choice සම්මාන දිනාගත් අතර, ජාතික තත්ත්ව සම්මානය (2018), සහ Global Performance Excellence සම්මානය (2019) ඇතුළු තවත් දේශීය හා ජාත්‍යන්තර සම්මාන රාශියකින්ද පිදුම් ලබා ඇත.

     

    ඡායාරූපය: ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා සමාගම වෙනුවෙන් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස 2022 SLIM-Kantar සම්මානය පිළිගත් අවස්ථාව. සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකා කෞශාලි කුසුමපාල මහත්මිය සහ විකිණුම් අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් බින්දුහේවා මහතා ප්‍රමුඛ ඇට්ලස් ඇක්සිලියා කණ්ඩායමද ඡායාරූපයෙහි සිටී