ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස්, පී.සී. ෆාර්මා කොටස් විකිණීම වහාම අවලංගුයි

    August, 11, 2014

    ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පී.සී. ෆාර්මා සමාගමේ කොටස් වෙනුවෙන් අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) ලබාදී තිබියදීත් එහි කොටස් මිලියන 31 ක් විකුණා දැමීමේ ආන්දෝලනයට තුඩුදුන් ගනුදෙනුව වහාම අවලංගු කරන්නැයි සුරැකුම්පත් හා විනිමය කොමිසම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම්දී තිබේ.

    ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පසුගියදා පී.සී. ෆාර්මා සමාගමේ සියයට 30 කට වැඩි කොටස් මිලදී ගත්තේය. සමාගමක සියයට 30 කට වඩා යම් සමාගමක් විසින්කොටස් මිලදී ගන්නේ නම් ඉතිරි සියයට 70 ක කොටස් ප්‍රමාණය මිලදීගන්නා බවට සෙසු කොටස් කරුවන්ට සහතික විය යුතුය. මෙය හඳුන්වන්නේ අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) ලෙසයි.

    මේ අනුව, ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පී.සී. ෆාර්මා සමාගමේ සෙසු කොටස්කරුවන්ගේ කොටස් මිලදීගන්නා බවට අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) කර තිබියදීත් එම කොටස් නැවත විකිණීමට පසුගියදා කටයුතු කළේය. මෙය දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර මේ පිළිබඳව සවිස්තරව කරුණු දක්වන තෙක් ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සහ පී.සී. ෆර්මා කොටස් ගනුදෙනු කිරීම කොළඹ කොටස් වෙළඳ පොළ විසින් පසුගිය සිකුරාදා අත්හිටුවන ලදී.

    කෙසේවෙතත්, සුරැකුම්පත් හා විනිමය කොමිසම අද කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම්දී තිබෙන්නේ මෙම ගනුදෙනුව වහාම අවලංගු කර ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් විකුණූ පී.සී. ෆර්මා කොටස් යළිත් එම සමාගම යටතට පත්කරන ලෙසයි.

    විනිමය කොමිසම විසින් ආයෝජකයින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මෙම පියවර ගත්බව සඳහන්ය.