ඇමරිකන් ආයෝජකයින් පොරකෑ NSB ජාත්‍යන්තර බැඳුම්කරේට වුණේ කුමක්ද?

    September, 3, 2014

    ඩොලර් මිලියන 250 ක් රැස්කර ගැනීම සඳහා මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඊයේ දියත් කළ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය (Bond) බැංකුවට වාසි සහගත ඉතා ආකර්ශනීය පොලී අනුපාතයකට විකුණා අවසන් කිරීමට සමත්ව තිබේ.

    බ්ලූම්බර්ග් පුවත් සේවාව අනාවරණය කරන්නේ මෙම නිකුතුවේ මූලික පොලී මාර්ගෝපදේශනය (Initial Price Guidance) සියයට 5.5 ක් ලෙස දක්වා තිබුණත් අවසානයේදී එය අලෙවි කෙරුණේ සියයට 5.15 ක් වැනි අඩු පොලී අනුපාතයකට බවයි.

    මෙම නිකුතුව සඳහා ඩොලර් බිලියන 2.1 ක් වටිනා ඇනවුම් (Orders) ලැබී ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි.

    බැඳුම්කරයෙන් සියයට 37 ක් ආසියානු ආයෝජකයින්ද, සියයට 29 ක් යුරෝපීය ආයෝජකයින්ද, සුපුරුදු පරිදි වැඩිම ප්‍රමාණය ගනිමින් සියයට 34 ක් ඇමරිකානු ආයෝජකයින්ද මිලදීගෙන තිබේ.

    මෙහිදී, අරමුදල් කළමනාකරුවන් (Fund managers) සහ වත්කම් කළමනාකරුවන් (asset managers) විසින් සියයට 80 ක් මිලදී ගනිද්දී බැංකු විසින් සියයට 8 ක්ද, රක්ෂණ සමාගම් විසින් සියයට 01 ක්ද මිලදීගෙන ඇත.

    ජාතික ඉතිරි කිරීමේ බැංකුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර බැඳුම්කරයක් නිකුත් කර ඩොලර් මිලියන 750 ක මුදලක් රැස්කළ අතර එහි පොලී අනුපාතය සියයට 8.875 ක් විය. ඒ අනුව සැසඳීමේදී මෙවර ලැබී තිබෙන සියයට 5.15 ක අඩු පොලිය වාසි සහගත එකකි.

    බැංකුව ඩොලර් මිලියන 750 ක් රැස්කර ගැනීමට සිදුකළ එම ජාත්‍යන්තර නිකුතුවේදී (International Dollar Bond Issue) ඩොලර් බිලියන 2.4 ක් වටිනා ඇනවුම් (Orders) ලැබී තිබුණි.

    රජය මේ වනවිට සෘජුව විදේශීය ණය ලබාගැනීමෙන් වැලකී සිටියත් බැංකු හරහා විදේශ ණය ලබාගැනීමට යොමුවී සිටී.