ඇමරිකාව පරාජය අභිමුව. ලෝක ආර්ථීක බලවතා වීමට චීනය සූදානම්

    April, 30, 2014

    1872 වසරේ සිට ලෝකයේ දැවැන්තම ආර්ථීකය ලෙසින් වැජඹුණු ඇමරිකානු ආර්ථිකය බොහෝදුරට මේ වසරේදී චීන ආර්ථිකය හමුවේ පරාජය වී දෙවන ස්ථානයට ඇද වැටෙනු ඇති බවත් චීනය ලෝකයේ බලවත්ම ආර්ථිකය වනු ඇති බවත් ලෝක බැංකුව සමග කර තිබෙන නවතම සමීක්ෂණයකින් අනාවරණය කර තිබේ.

    පෙර පුරෝකතන වලට අනුව ඇමරිකානු ආර්ථිකය චීනයට දෙවැනි වනු ඇතැයි කියා තිබුණේ 2019 වසරේදීයි. නමුත්, හිතුවාටත් වඩා වේගයෙන් චීන ආර්ථිකය ඉදිරියට ඇදීම නව පුරෝකතනයට හේතුවී ඇත.

    ලෝක බැංකුව සමග ජාත්‍යන්තර සංසන්දනාත්මක වැඩසටහන (The International Comparison Program (ICP)) මගින් මෙම කරුණු අනාවරණය කර තිබෙන අතර 2005 වසරෙන් පසුව මෙම දත්ත හෙළිකර තිබෙන්නේ පළමු වරටයි.

    මෙහිදී, ලෝකය පුරා රටවල මුදල්වල තිබෙන මිලදීගැනීමේ හැකියාවන් ප්‍රසිද්ධ කර තිබෙන අතර මෙයින් අනාවරණය වී තිබෙන්නේ ඇමරිකානු ආර්ථික බලය චීනය හමුවේ පරාජය වෙමින් තිබෙන බවයි.
    මේ නිසා, ආර්ථික විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වසරේදී ඇමරිකානු සියවස අවසන් වී නැවතත් චීනයේ සියවස ඇරඹෙන බවයි.