ඉංග්‍රීසි ඉගෙනීමේ දී සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන් – බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සමීක්ෂණයකින් හෙළිවෙයි

    July, 3, 2018

    ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය මෙරට පාසල් සිසුන්ගේ ඉංග‍්‍රීසි භාෂා හැකියාවන් සම්බන්ධයෙන් පැවැත්වූ 'English Impact Survey' සමීක්ෂණයේ ප‍්‍රතිඵල එළිදැක්වීම පසුගියදා සිදුකෙරිණි.

    ජාත්‍යන්තර මට්ටමේ සමීක්ෂණයක් වන මෙය පවත්වන ලද්දේ ප‍්‍රථම වතාවට ය. සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී ඒ සම්බන්ධ දත්ත සහ නිගමනයන් රැුස්ව සිටි පිරිස වෙත අනාවරණය කරන ලදි.

    අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පවත්වන ලද ස්වාධීන පර්යේෂණ ව්‍යාපෘතියක් වූ මෙහිදී, බි‍්‍රතාන්‍ය කවුන්සිලය මගින් වසරක කාලයක් තුළ රජයේ පාසල් 148 ක 11 වසරේ සිසුන් 1,500 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන සමීක්ෂණ කටයුතු සිදුකරන ලදි.

    බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ භාෂා පරීක්ෂණ විශේෂඥයන් විසින් නිර්මාණය කරන ලද, ජාත්‍යන්තර තලයේ ඉංග‍්‍රීසි භාෂා නිපුණතා ඇගයුම් ක‍්‍රමවේදයක් වන APTIS භාෂා පරීක්ෂණය භාවිතයෙන් මෙහිදී සිසුන්ගේ ඉංග‍්‍රීසි භාෂා කියවීම්, රචන, ශ‍්‍රවණ හා කථන හැකියාවන් පරීක්ෂාවට ලක්කෙරිණි. පරිගණක මාර්ගික පරීක්ෂණයක් වන මෙය සිදුකිරීම සඳහා මෙරට තුළදී ටැබ්ලට් පරිගණක භාවිතා කරන ලදි.

    ‘‘රාජ්‍ය, අධ්‍යාපන හා ව්‍යාපාරික තලවල ඉංග‍්‍රීසි භාෂා හැකියාවන් ඇගයීමට ලක්කිරීම සඳහා ලොව පුරා APTIS භාෂා පරීක්ෂණය යොදාගැනෙනවා. පහසුවෙන් ප‍්‍රතිඵල පරීක්ෂා කළ හැකි, නම්‍යශීලී සහ විශ්වාසනීය පරීක්ෂණයක් වන මෙහි ප‍්‍රතිඵල පැය 48 ක් තුළදී ලබාගැනීමට පුළුවන්.” බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ මෙරට විභාග කළමනාකරු සයිමන් ක‍්‍රීසි මහතා පැවසී ය.

    මෙම සමීක්ෂණයේදී සිසු සිසුවියන්ගේ සමාජ, ආර්ථික හා අධ්‍යාපන පසුබිම සහ, ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනගැනීමට ඔවුන් උනන්දුවක් දැක්වීමට හේතු යනාදිය සම්බන්ධයෙන්, සිංහල සහ දෙමළ යන භාෂාවන්ගෙන් ලබාදෙන ලද ප‍්‍රශ්න මාලාවකට පිළිතුරු ලබාගැනීමද සිදුකෙරිණි.

    සමීක්ෂණයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ලූයිස් කවුචර් මහත්මිය මෙසේ අදහස් දැක්වී ය. ‘‘මෙම සමීක්ෂණයේ ප‍්‍රතිඵල ඉතාමත් වැදගත්. මෙමගින් ශ‍්‍රී ලංකාවේ පාසල් වල ඉංග‍්‍රීසි අධ්‍යාපනයේ තත්ත්වය සම්බන්ධයෙන් අඩබෝධයක් ලබාදෙනවා මෙන්ම ඉංග‍්‍රීසි භාෂාව සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් පවතින ආකල්ප පිළිබඳව පැහැදිලි වැටහීමක්ද ලබාදෙනවා. ඊට අමතරව මෙමගින් අපට රටේ ඉංග‍්‍රීසි භාෂා අධ්‍යාපනය නංවාලිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලබාගත හැකියි.”

    2016/2017 English Impact Survey සමීක්ෂණයේ මූලික සොයාගැනීම් පහත දැක්වේ.

     සියලූ සමීක්ෂණ වලදී සිසුවියෝ සිසුන්ට වඩා කැපීපෙනෙන හැකියාවන් පෙන්නුම් කිරීමට සමත් වූහ. එමෙන්ම ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනගැනීම සම්බන්ධයෙන් ඇති උනන්දුව සහ, එය ඉගෙනගැනීමට තමන්ට හැකි බවට වන ආත්ම විශ්වාසය අතින්ද ඉදිරියෙන් සිටියේ සිසුවියන් ය.

     භාෂා පරීක්ෂාවන් වලදී ශ‍්‍රවණ හැකියාවන් පැවතියේ සාපේක්ෂව ඉහළ මට්ටමක ය. කියවීම සහ කථනය සිසු සිසුවියන්ට වඩාත් දුෂ්කර බව පෙනිණි.

     සමාජ ආර්ථික තත්ත්වය සහ ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනීම සම්බන්ධ උනන්දුව අතර සෘජු සම්බන්ධතාවක් පෙනීගොස් ඇත. වැඩි පහසුකම්ලාභී පවුල්වල දරුවන් ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනගැනීමට වැඩි නැඹුරුවක් දැක්වූ අතර අඩු පහසුකම්ලාභී පවුල්වල දරුවන් ඒ සම්බන්ධයෙන් පෙන්නුම් කළේ අඩු උනන්දුවකි.

     සිසු සිසුවියන් ඉංග‍්‍රීසි භාෂාව සම්බන්ධයෙන් යහපත් ආකල්ප දරන අතර, තම පෞද්ගලික, සමාජයීය සහ වෘත්තීය දියුණුව සඳහා එය වැදගත් වන බව ඔවුහු පිළිගනිති.

    ඉංග‍්‍රීසි භාෂා නිපුණතාව අවම වීම නිසා තරුණ තරුණියන්ට රැුකියා ලබාගැනීමේදී දුෂ්කරතා එළඹිය හැකි අතර එය රටේ ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී බාධාවක් වන තත්ත්වයකි. විශේෂයෙන්ම ජාත්‍යන්තර තලය සමග තරග කිරීමේදී මෙය දැඩිව බලපායි. එම නිසා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළදී ඉංග‍්‍රීසි භාෂා අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා රජය දැඩි අවධානයක් යොමුකර ඇති අතර මෙම සමීක්ෂණයේ ප‍්‍රතිඵල මගින්, මෙරට ඉංග‍්‍රීසි භාෂා විෂය මාලාවන් සහ අධ්‍යයන ක‍්‍රමවේද දියුණු කිරීම සඳහා රජය ගන්නා එම උත්සාහයද නිරූපණය වේ.

    බි‍්‍රතාන්‍ය කවුන්සිලය යනු මෙරට ඉංග‍්‍රීසි අධ්‍යාපනය සහ ඊට අදාළ සම්පත් සම්පාදනයෙහි ප‍්‍රමුඛතම ආයතනයකි. මෙරට ඉංග‍්‍රීසි අධ්‍යාපනය නැංවීම සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ලාභ සඳහා නොවන සංවිධාන යනාදිය සමග අත්වැල් බැඳගනිමින් English Impact Survey වැනි අර්ථවත් ව්‍යාපෘති රාශියක් ක‍්‍රියාත්මක කිරීමටද එම ආයතනය කටයුතු කර ඇත.