ඉඩම් ලියාපදිංචිය පරිගණක ගත කිරීම සාර්ථකයි

    January, 2, 2017

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ඉඩම් අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාවට නංවන ලද මෙරට ඉඩම් ලියාපදිංචිය පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව නිවේදනය කර සිටී.

    මේ වන විට කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල බල ප්‍රදේශයේ ඉඩම් පිලිබඳව රජය සිදු කරනු ලබන කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සහ විධිමත්ව සිදු කිරීමට හැකියාව ලැබී තිබේ.

    ඉඩමක අයිතිය තහවුරු කර ගැනීම ඉඩමක ගොඩනැගිලි ඉදිකිරීමේ බලපත්‍ර නිකුත් කිරීම ඉඩමක පාරිසරික තත්ත්ව පරීක්‍ෂණ වාර්තා නිකුත් කිරීම ආදී කටයුතු වලදී අදාළ පළාත් පාලන ආයතනයන්ට මෙන්ම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල වලට එම කටයුතු සිදු කිරීම මෙමගින් පහසුවේ.

    විශේෂයෙන්ම ව්‍යාපාර ආරම්භ කිරීම සදහා වු පහසුකම් සැලසීමේ දර්ශකය (Ease of Doing Business Ranking) මෙමගින් බල ගැන්වෙන අතර දෙස් විදෙස් ආයෝජකයින්ට ව්‍යසායකයින්ට මෙන්ම විවිධ පිරිස් සදහා ඇවැසි ඉඩම් පිලිබඳ තීන්දු තීරණ ගැනීමේදී එම කටයුතු වඩාත් පහසුවේ.

    මෙම ඉඩම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය නිසා ඉඩම් හිමිකරුවන්ට වාසි රැසක් අත්වේ. ඒ අනුව පුද්ගලික ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කටයුතු මෙන්ම බිම් සවිය ඉඩම් හිමිකම් සහතික පත් කිරීම කාර්යක්‍ෂම කිරීමටද හැකිවේ.

    තවද ඉඩම් පත්ඉරු ස්කෑන් කර පරිගණක ගත කිරීමද එම තොරතුරු දත්ත පද්ධතියකට ඇතුලත් කිරීමද සිදු කෙරේ. මෙමගින් ඉඩම් පිලිබද පැරණි තොරතුරුමෙන්ම ඉඩම් පිලිබද පැටිකිරිය පහසුවෙන් දැන ගැනීමට හැකිවේ.

    තවද ස්භාවික ආපදා වලදී මෙන්ම කුට සහගත ලෙස ඉඩම් පිලිබද තොරතුරු විනාශ කිරීමේ අවස්ථාවන්ද මෙමගින් වැළැක්වේ.

    ඉඩම් අලෙවි කිරීමේදී මෙන්ම මිලදී ගැනීමේදී දැනට සිදුවන විවිධ අක්‍රමිකතා හා දුෂණ අවම කර ගැනීමටද මෙමගින් හැකිවන අතර මේ නිසා ඉඩම් පිලිබද කටයුතු වලදී අධිකරණයට යෑමේ අවස්ථාවන්ද අවම වේ.

    එසේම බැංකු ඇතුලු මුල්‍යය ආයතන වලට ඉඩම් තක්සේරු කිරීමේදී මෙන්ම ඉඩම් පිලිබද නීතිමය කටයුතු වලදී නීති ක්ෂේත්‍රයේ අයටද සිය කටයුතු වලට පහසුවක් වේ.

    ඉඩම් හිමිකම් සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මේ තුලින් වෙනසකට භාජනය වන බවත් මේ හා සම්බන්ධ රජයේ අනෙකුත් ආයතනද මෙම ක්‍රියාචලියට අනුගත වීම තුලින් එම ආයතන වලින් සපයන්නා වු ඉඩම් හිමිකම් හා බදු එකතු කිරීම යන සේවාවන් වඩාත් කාර්යක්‍ෂමව හා පුරවැසි කේන්ද්‍රියව සිදු කිරීමට අවස්ථාව සැලසෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.