ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීම 2022 දී

    March, 16, 2023

    පසුගිය 2022 වසෙර් දී මෙරට ආර්ථිකය 7.8% ක පසුබෑමක් වාර්තා කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ සිදුවූ ඉහළම සංකෝචන අගය ලෙසින් හැඳින්විය හැකිය. මීට පෙර 2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.6%කින් පරිහානියට ලක්විය.

    2020 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 16.3% ක පරිහානියක් වාර්තා කළ අතර ඉන් අනතුරුව පසුගිය 2022 සිව්වන කාර්තුවේ දී වාර්තා වී ඇති 12.4% ක සෘණ වර්ධනය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම සෘණ වර්ධන වේග අගය වනු ඇත.

    2022 වර්ෂයේ සිව්වන කාර්තුව සහ 2022 වර්ෂය සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    2021 වර්ෂයේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රු. මිලියන 13,037,934 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේ දී රු. මිලියන 12,017,849 ක් ලෙස පහත වැටී ඇත.

    ඒ අනුව 2022 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 7.8ක සෘණාත්මක වර්ධනයක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

    කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා ක්‍රියාකාරකම් 2022 වර්ෂයේ දී පිළිවෙලින් සියයට 4.6ක්, සියයට 16.0ක් සහ සියයට 2.0 ක් වශයෙන් පහත වැටී ඇත.

    2022 වසරේ සිව්වන කාර්තුව සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 3,331,073 සිට රු. මිලියන 2,917,721 දක්වා සියයට 12.4ක සෘණ වර්ධන වේගයක් වාර්තා කරමින් පහත වැටී ඇත.