ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය සවිබල ගැන්වීම සඳහා ඉන්සි සිමෙන්ති පෙරමුණ ගනී

    January, 24, 2017

    පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන් සඳහා ලාංකේය විශ්වවිද්‍යාල සමග එකමුතුව

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම සිමෙන්ති නිෂ්පාදකයාවන ඉන්සි සිමෙන්ති (පෙර හැඳින්වීම-හොල්සිම් ලංකා) සමාගම, නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධන ප්‍රගතීන් රැසක් දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයට හිමිකර දෙමින් පේරාදෙණිය, මොරටුව සහ රුහුණ විශ්වවිද්‍යාල සමග සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළඹියේය.

    ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ දේශීය අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ගිවිසුම ඉන්සි සිමෙන්ති සමාගමේ ශ්‍රී ලාංකේය ඒකකයවන සියාම් සිටි (ලංකා) සමාගම සහ පෙර සඳහන් විශ්වවිද්‍යාල අතර අත්සන් තැබිණි. සියාම් සිටි (ලංකා) සමාගමේ වාණිජ අධ්‍යක්ෂ ජනක වීරකෝන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආනන්ද ජයවර්ධන සහ රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ජී.ජේ.එන්. සේනානායක යන මහත්වරු ඊට අත්සන් තැබූහ. සියාම් සිටි (ලංකා) සමාගමේ වාණිජ අධ්‍යක්ෂ ජනක වීරකෝන්, පරිපාලන සහ සැලසුම් සංවිධාන අධ්‍යක්ෂ චරිත් විජේන්ද්‍ර සහ විකුණුම්-ව්‍යාපෘති ප්‍රධානී ව්‍යාපෘති සහ ආයතනික සංඛ සෙනෙවිරත්න යන මහත්වරු මුලසුන හෙබවූහ.

    වර්තමානයේ ගෝලීය ඉදිකිරීම් කර්මාන්තය, යටිතල පහසුකම් සඳහා පවතින අධික ඉල්ලුම සහ නාගරික සංවර්ධනය හේතුවෙන් අභියෝගයට ලක්ව සිටී. මෙම ගිවිසුම ඔස්සේ, ඉන්සි සිමෙන්ති සමාගමේ නවෝත්පාදන සහ යෙදවුම් මධ්‍යස්ථානය, අඛණ්ඩ පර්යේෂණ සහ සහයෝගය හරහා එම ගැටළු සඳහා සාර්ථක විසඳුම් ලබා දීමට අපේක්ෂා කරයි.

    ඉන්සි සිමෙන්ති සමාගම මෙරට ප්‍රමිති, ආරක්ෂණ සහ කාර්ය සුවතා නියාමන අවශ්‍යතාවන්ට අනුකූලව සිමෙන්ති නිෂ්පාදනය කරයි. එම සමාගම සතු පලාවි සහ රුහුණු විශ්ලේෂණ විද්‍යාගාර සඳහා අනුකුලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලයේ (SLAB) ISO/IEC 17025:2005 ප්‍රමිතියට අනුකූලව සිමෙන්ති යාන්ත්‍රික පරික්ෂා කිරීම් සඳහා අනුමැතිය හිමි වී ඇත. තවද, 'පළමුව ආරක්ෂාව' යන සංකල්පය දැඩිව අනුගමනය කරන ඉන්සි සිමෙන්ති සමාගම, කාර්යාවලි සහ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ විශිෂ්ටතම ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා නවීනතම ආරක්ෂණ මෙවලම් සම්පාදනය කිරීමට ද කටයුතු කරයි. මෙරට නිමැවුම් ක්ෂේත්‍රයේ කීර්තිමත් උළෙලක්වන ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සුවතා සම්මාන උළෙලේ එකම තාක්ෂණික සහකරු බවට ඉන්සි සිමෙන්ති පත් වූයේ වෘත්තීය සුරක්ෂිතතාව වෙනුවෙන් එම සමාගම් දක්වන කැපවීම හේතුවෙනි.

    මෙම ගිවිසුම යටතේ විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය මුල්‍ය සහයෝගය සහ තාක්ෂණික මගපෙන්වීම ලබා දීමට ඉන්සි සිමෙන්ති සමාගම කටයුතු කරනුයේ උසස් ප්‍රමිතිය වෙනුවෙන් එම සමාගම දක්වන කැපවීම නිසාමය. මෙම ගිවිසුමේ එක් අංගයක් ලෙස සෑම වසරකම ඉහත විශ්වවිද්‍යාලවල සිවිල් සහ පාරිසරික ඉංජිනේරු සිසුන් හය දෙනා බැගින් තෝරා ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙනු ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග පිළිබඳ පර්යේෂණ සිදු කිරීම, විශ්වවිද්‍යාල සහ වෘත්තිකයන් සමග දැනුම බෙදාහදා ගැනීම මෙන්ම විශ්වවිද්‍යාලවල සහයෝගයෙන් යුතුව ගොඩනගා ගන්නා දැනුම/විසඳුම් විවිධ ක්‍රමවේද ඔස්සේ ඉදිකිරීම් කර්මාන්තය වෙත යොමු කිරීම සඳහා ද මෙම ගිවිසුම යටතේ ඉන්සි සිමෙන්ති සිය දායකත්වය ලබා දෙනු ඇත.

    "දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය සවිබල ගැන්වීම සඳහා අප ඉන්සි සමාගම තුළ නව චින්තනයට සහ නවොත්පාදනයට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙරට ප්‍රධානත ම සිමෙන්ති නිෂ්පාදකයා වශයෙන් දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය නිසි මගට යොමු කිරීම තුළ අප සතු වගකීම අප මැනවින් අවබෝධ කොටගෙන සිටිනවා. මෙම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය උදෙසා වැදගත්වන පාර්ශ්වකරුවන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නවොත්පාදකයන්ගේ සංකල්ප සහ ආදර්ශ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සවිමත් පදනමක් මෙම හවුල්කාරිත්වය හරහා ගොඩනැගීමට අප ඉදිරිපත් වුණේ එම නිසයි" වීරකෝන් මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම සිමෙන්ති නිෂ්පාදකයාවන හොල්සිම් (ලංකා) සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව හොල්සිම් රෙඩි ෆ්ලෝ (Holcim Ready Flow) ඉන්සි රැපිඩ් ෆ්ලෝ (INSEE Rapid Flow) ලෙස ද, හොල්සිම් රෙඩි ෆ්ලෝ ප්ලස් (Holcim Ready Flow Plus) ඉන්සි රැපිඩ් ෆ්ලෝ ප්ලස් (INSEE Rapid Flow Plus) ලෙස ද, හොල්සිම් එක්ස්ට්‍රා (Holcim Extra) ඉන්සි එක්ස්ට්‍රා (INSEE Extra) ලෙස ද, හොල්සිම් සංස්ථා (Holcim Sanstha) ඉන්සි සංස්ථා (INSEE Sanstha) ලෙස ද ලෆාජ් මැරීන් (Lafarge Marine) ඉන්සි මහවැලි මැරීන් (INSEE Mahaweli Marine) ලෙස ද යළි හඳුන්වා දෙනු ලැබිණි.

    1969 වසරේදී තායිලන්තයේ දී ඇරඹි සියාම් සිටි සිමෙන්ති සමාගමේ සාමාජිකයෙකුවන ඉන්සී සිමෙන්ති සමාගම, අග්නිදිග ආසියානු කලාපයේ පුරෝගාමී සිමෙන්ති නිෂ්පාදන සමාගමකි. ඉන්සී සන්නාමය යටතේ නිෂ්පාදනය කෙරෙන සිමෙන්ති, ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ විසඳුම් කාම්බෝජය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව තුළ අලෙවි කෙරේ.