ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා හිමිකරදෙන SLIIT ප්‍රමාණ සමීක්ෂණ උපාධි පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවේ

    June, 20, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT පිරිනමන ඉහළ පිළිගැනීමකින් යුත් ප්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ වී තිබේ. ඉහළ පිළිගැනීමකින් හා ගුණාත්මක බවකින් යුත් මෙම උපාධි පාඨමාලාව සාර්ථකව හදාරන සිසුන්ට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථා රැසක් ජනිත වී තිබීම කැපීපෙනේ.

    මෙම උපාධි පාඨමාලාව පිරිනැමෙනුයේ SLIIT සහ එක්සත් රාජධානියේ Liverpool John Moores විශ්ව විද්‍යාලයේ සහයෝගයෙනි. එතුළින් වැඩි විවිධත්වයක් සහිත අංග සම්පූර්ණ උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අවකාශය සිසුන්ට උදාවේ. මෙසේ ප්‍රමාණ සමීක්ෂණ උපාධිය ලබාගන්නා පළමු ශිෂ්‍ය කණ්ඩායමෙන් අනතුරුව රාජකීය වරලත් ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේත් [RICS]  ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේත් [IQSSL] ප්‍රතීතන සහතික ලබාගැනීමට ද SLIIT සහ Liverpool John Moores විශ්ව විද්‍යාලය සැලසුම්කර තිබේ.

    SLIIT හිදී ප්‍රමාණ සමීක්ෂණ උපාධි පාඨමාලා හැදෑරීමේ කැමැත්තෙන් පසුවන සිසුන්ට ඒ සඳහා එක්වීමේ ආකාර දෙකක් පවතී.  ඉන් පළමුවැන්න වන්නේ, පිළිගත හැකි පූර්ව සුදුසුකම් මත දැනටමත් ප්‍රමාණ සමීක්ෂණ ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ට පිරිනැමෙන එක් අවුරුදු අර්ධ කාලීන උපාධි පාඨමාලාව ය. මෙසේ එක් අවුරුදු උපාධි පාඨමාලාව හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට ඒ සඳහා යම් සුදුසුකම් අවශ්‍යතාවයක් මතුවුවහොත් ඒ වෙනුවෙන් විශේෂ අධ්‍යයන පාඨමාලාවක් ලබාදීමට ද SLIIT සූදානමින් සිටී.

    දෙවැනි ක්‍රමය යටතේ අ.පො.ස. උසස් පෙළ විභාගයට සුදුසුකම් ලැබු සිසුන්ට මෙම උපාධි පාඨමාලාවේ පළමු වසරට එකතු වීමේ අවස්ථාව පවතී. ඒ හරහා වසර තුනකදී ප්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමේ හැකියාව ඔවුන්ට තිබේ. උපාධි පාඨමාලාවේ පළමු වසර කොටස් දෙකකින් යුතුවන අතර එහිදී ඉදිකිරීම් කර්මාන්තය පිළිබඳවත් ප්‍රමාණ සමීක්ෂකයෙකුගේ කාර්ය භාරය ගැනත් සිසුන්ට අවබෝධය ලබාදීම සිදුවේ.

    දෙවැනි වසරේදී වැඩි අවධානයක් යොමුවන්නේ මූලික ප්‍රමාණ සමීක්ෂණ ක්‍රියාකාරකම් කෙරෙහි ය. එම වසරේ දෙවැනි අධ්‍යයන කාලසීමාවේදී සිසුන්ට කර්මාන්තමය පුහුණුවක් ලබාදීම ඇරඹෙන අතර සති 12ක කාලයක් දක්වා එය දිවයයි. එමගින් තමන් උගත් දෑ ක්‍රියාවට නැංවීමට මෙන්ම ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තිකයන් සමඟ එකට කටයුතු කිරීමේ වටිනා අවස්ථාවක් සිසුන්ට හිමිවේ.

    අවසාන වසරේදී කේවල පර්යේෂණයක් සිදුකළ යුතු අතර ව්‍යාපෘති මූල්‍ය කළමනාකරණය, පිරිවැය කළමනාකරණය, ඉදිකිරීම් නීතිය හා ප්‍රසම්පාදන උපාය මාර්ග යන විෂයන් ද ඉගැන්වේ.

    SLIIT ප්‍රමාණ සමීක්ෂණ අධ්‍යයනාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ, ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ වසර 25කට වැඩි අත්දැකීම් බහුල වරලත් ප්‍රමාණ සමීක්ෂක ඉඳුනිල් සෙනෙවිරත්න මහතා ය. අධ්‍යයන කාර්ය මණ්ඩලය ද මනා පළපුරුද්දක් සහ අධ්‍යයන සුදුසුකම්වලින් පරිපූර්ණ කණ්ඩායමකි. ඔවුන් අතර SLIIT ආචාර්යවරු මෙන්ම බාහිර කථිකාචාර්යවරු ලෙස කටයුතු කරන ප්‍රමාණ සමීක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තිකයන් ද වේ. එමෙන්ම මෙරට සෙසු ප්‍රධාන පෙළේ අධ්‍යයන ආයතනවල ආචාර්යවරු ද මෙහි ඉගැන්වීම් කටයුතු සඳහා එක්වෙති.

    දැරිය හැකි මිල ගණන් යටතේ මෙම ප්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී උපාධි පාඨමාලාව SLIIT වෙතින් හඳුන්වා දී ඇති අතර ඉහළ ගුණාත්මක බවකින් යුත් ඉගැන්වීම් කටයුතු, යහපත් ඉගෙනුම් පරිසරය හා විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් සහිත විනෝදජනක විශ්ව විද්‍යාල ජීවිතය අත්විඳීමේ අවස්ථාව ද සිසුන්ට හිමිවේ.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු  011 754 4801 දුරකථන අංකයෙන් ලබාගත හැක.