ඉදිරි මාස තුන ව්‍යාපාරවලට හොඳයි

    January, 17, 2018

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 දෙසැම්බර් මාසයේ දී 59.1 ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර, එය 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව දර්ශක අගයයන් 0.3 ක සුළු ඉහළ යාමකි.

    ඒ අනුව, 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු වැඩි වේගයකින් වර්ධනය වීමක් පිළිබිඹු වේ.

    මේ සඳහා, විශේෂයෙන්ම නිෂ්පාදන උප දර්ශකයේ ඉහළ යාම හේතු විය. තවද, 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව ගැනුම් තොග සහ සේවා නියුක්තිය යන උප දර්ශක ද වැඩි වේගයකින් වර්ධනය වූ අතර, නව ඇණවුම් උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය සඳහා අදාළ වන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂව වැඩි වෙග්යකින් වර්ධනය විය.

    තවද, සියලුම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලද අතර, ඒ අනුව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සමස්තයක් ලෙස වර්ධනයක් පිළිබිඹු කරන ලදී.

    තවද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 දෙසැම්බර් වාර්තාවෙහි මේ පිළිබඳ සඳහන් වේ.