ඉදිරි මාස 06 සඳහා ප්‍රතිපත්තියක් සකස් කෙරෙන තෙක් කොටස් වෙළෙඳපොළ වසා තැබිය යුතුයි – ධම්මික පෙරේරා

    May, 7, 2020

    රටේ මීළඟ මාස 06 සඳහා ප්‍රතිපත්තියක් සැකසෙන තෙක් කොටස් වෙළෙඳපොළ වසා තැබිය යුතු බවත්, එම මාස 06 දෙස බලා ගනුදෙනුකරුවන් තම ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. අද දෙරණ 24 නාලිකාවේ විකාශය වූ talk with CHATHURA සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී ධම්මික පෙරේරා මහතා පැවසුවේ, රටේ ඇඳිරි නීතිය පවතින තත්ත්වයක් තුළ, කොටස් වෙළෙඳපොළ විවෘත කළ නොහැකි බවයි.

    “රටක්, ඇඳිරි නීතිය දාලා තියෙද්දී, කොහොමද මේක අරින්නේ? මොකද මිනිස්සුන්ට, share market එකේ ඉන්න අයට, බලන්න ඕනේ future එකේ ගන්න action එක මොකක්ද කියලා. එහෙම නැතුව අද ඇරියොත් එහෙම, මම කියන්නේ, රට, මෙන්න මේක තමයි next six months වලට කියලා policy එකක් එනකං, මේක වහලා තියෙන්න ඕනේ. එතකොට තමයි, ඒ මාස හයේ එක බලලා තමයි මිනිස්සු විකුණනවාද නැද්ද කියලා බලන්නේ.“

    මේ වන විට අතරමග ඇණ හිට ඇති විදෙස් ආයෝජකයින්ගේ ගනුදෙනු ද ඇතුළුව ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් කුමනාකාරයේ පියවරක් ගත යුතු දැයි ඇසූ පැනයට ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    “රටක් හැටියට ඇඳිරි නීතිය තියෙද්දී කොහොමත් ඔපරේට් වෙන්න බැහැනේ. ඇඳිරි නීතිය නැති වෙන්න ඕනේ. ඇඳිරි නීතිය නැති වුණත්, ඉස්සරහා පේන්නේ නැත්නම් ව්‍යාපාරවල, එතකොට share price එක එහෙට මෙහෙට වෙනවා. ඒගොල්ලෝ එහෙම අමාරුවේ වැටෙන්නත් පුළුවන්, පොඩි මිනිස්සු තවත් බය වෙලා විකුණන්න ගිහිල්ලා, ඒ මිනිස්සු අමාරුවේ වැටෙන්නත් පුළුවන්.“

    ධම්මික පෙරේරා මහතා සමඟ කළ talk with CHATHURA මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකිය.