ඉන්දියානු ණය ක්‍රමයෙන් මිල දී ගැනීමට අනුමත වූ බස් රථවල වෙනසක්

    January, 13, 2020

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 15.03 ක් උපයෝගී කරගනිමින් ආසන 50-54 නව බස් රථ 400ක් සහ ආසන 32-35 නව බස් රථ 100ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත.

    ඒ අතරතුර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ජනතාවට කාර්යක්ෂම සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් සැපයීම් සඳහා සිය අවශ්‍යතාවන් නැවත තක්සේරු කර, දුරගමන්, නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල අතුරු පාරවල්වල යෙදවිය යුතු බස් රථ වර්ග සහ අවශ්‍ය ප්‍රමාණ හඳුනා ගැනු ලැබ ඇත.

    ඒ අනුව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මීට පෙර මිල දී ගැනීමට අපේක්ෂා කළ බස් රථ වෙනුවට ආසන 30-35 නව බස් රථ 500ක් සහ පසුපස උස් ඇන්ද සහිත ආසන 42-45 නව බස් රථ 100ක් මිල දී ගැනීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.