November, 12, 2021
Reliance Industries සමාගම MAS Holdings සතුව පැවති amanté මිලදී ගනී
MAS Holdings සමූහයට අනුබද්ධව ක්‍රියාත්මක වූ amanté සමාගම, ඉන්දියාවේ Ambani සමූහයේ Reliance Industries සමාගමට අනුබද්ධ සමාගමක් වන Reliance Retail Ventures Limited විසින් මිලදී ගෙන තිබේ. 2007/2008 කාලසීමාවේදී ආරම්භ කරන ලද amanté සමාගම, amanté, Ultimo සහ every dé by amanté යන සන්නාම යටතේ උසස්ම ප්‍රමිතියෙන් යුත් lingerie වර්ගයේ ඇඟලුම් අලෙවි කරන සමාගමකි. තමන් සතු අලෙවිසැල් සහ බාහිර අලෙවිසැල් හරහා මෙන්ම විද්‍යුත් වාණිජ අලෙවිසැල් හරහා amanté සිය නිෂ්පාදන ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රටවල අලෙවි කරයි.
2018 වසරේදී MAS Holdings ගෝලීය උපදේශන සමාගමක් සමග එක්වී, තම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් දීර්ඝකාලීන ක්‍රමෝපායික සැලසුමක් සකස් කිරීමට කටයුතු කළේ ය. මෙහිදී සමූහයේ මූලික අංශ යටතේ, එහි අනාගත වර්ධනය සඳහා ඇති ඉඩප්‍රස්ථාවන් හඳුනා ගන්නා ලදි. එමෙන්ම එහි මූලික අංශ වලින් පරිබාහිරව, අනෙකුත් සමාගම් සමග ක්‍රමෝපායික සම්බන්ධතා ගොඩනැංවීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි. මෙම සැලසුමේ කොටසක් ලෙස, amanté සමාගමේ අනාගත වර්ධනය උදෙසා ගැළපෙන පාර්ශවයක් සම්බන්ධ කරගැනීමේ උත්සාහය යටතේ එම සමාගම මෙලෙස Retail Ventures Limited වෙත අලෙවි කරන ලදි.
මෙම ගනුදෙනුව, ඉන්දියාවේ දැවැන්ත සමූහ ව්‍යාපාරයක් යටතේ පවතින ප්‍රමුඛ පෙළේ සමාගමකින්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් සමාගමක් වෙත ලැබුණු විශාල පරිමාණයේ සෘජු විදේශ ආයෝජනයකි. Amanté හි ව්‍යාපාර කටයුතු ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුළ තවදුරටත් දියුණු කිරීම සඳහා Reliance Retail සමාගම දිගින් දිගටම ආයෝජනයන් සිදුකරනු ඇත.
වර්තමානය වැනි අවිනිශ්චිත කාලසීමාවක ඉන්දියාවේ විශාලතම පාරිභෝගික අලෙවි සමාගමක් සමග මේ ආකාරයේ ගනුදෙනුවක් සිදුකිරීමට හැකිවීම, MAS සමූහ ව්‍යාපාරයේ ශක්තියට මෙන්ම, amanté කළමනාකාරීත්වය පසුගිය දශකය තුළ ගොඩනංවාගෙන ඇති කීර්ති නාමයටද මනා සාක්ෂියකි.
“Reliance වැනි මහා පරිමාණ, අත්දැකීම් බහුල සමාගමක් විසින් amanté මිලදී ගනු ලැබීම, amanté සන්නාමයේ උන්නතියට ප්‍රතිලාභ රැසක් සලසන පියවරක් වේවි. එමෙන්ම අප නිර්මාණය කළ සන්නාමයටත්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අපගේ කාර්ය මණ්ඩල වලටත් මෙමගින් ප්‍රමුඛ පෙළේ සමාගමක කොටසක් වීමේ වාසි අත්විඳීමට හැකියාව ලැබෙනවා.” MAS Holdings සභාපති මහේෂ් අමලියන් මහතා පැවසී ය.
“Amanté යනු lingerie වර්ගයේ ඇඟලුම් සම්බන්ධයෙන් අප සතු දීර්ඝකාලීන අත්දැකීම් පදනම් කරගෙන අප මුල සිටම නිර්මාණය කළ ව්‍යාපාරයක්. එය නව මවු සමාගමක් සහ නව කොටස් හිමිකරුවන් පිරිසක් යටතේ පරිවර්තනයට ලක්වෙන ආකාරය දෙස අප උනන්දුවෙන් බලා සිටිනවා. මෙය amanté සන්නාමයේ දියුණුවට හේතුවන පරිවර්තනයක් වනු ඇති බවට සැකයක් නැහැ.” ආරම්භයේ පටන්ම amanté හි දියුණුව වෙනුවෙන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකළ, MAS සම-නිර්මාතෘ අජේ අමලියන් මහතා පැවසී ය.
“Reliance යනු සෑම විටම පාරිභෝගිකයන් වෙත හොඳම සහ උසස්ම තෝරාගැනීම් පිරිනමන සමාගමක්. උසස්ම තත්වයෙන් යුත් amanté නිෂ්පාදන අපගේ පාරිභෝගිකයන් වෙත රැගෙන ඒමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. MAS යනු මෙම කාණ්ඩයේ ඉහළ තලයේ ගෝලීය සන්නාම වෙත නිෂ්පාදන හා නවෝත්පාදන සපයන, ඉහළ පිළිගැනීමක් සහිත සමාගමක්. අප ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය නිසා, ඉන්දියාවේ පාරිභෝගිකයන්ට මෙම කාණ්ඩයේ ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන පෙළක් මිලදී ගැනීමට හැකියාව ලැබේවි.” Reliance Retail Ventures Limited හි අධ්‍යක්ෂිකා ඊෂා අම්බානි මහත්මිය පැවසුවා ය.
“මෙම හවුල්කාරීත්වය ඔස්සේ උදාවන අනාගත අවස්ථාවන් පිළිබඳව MAS Brands හි අප සිටින්නේ ඉමහත් උනන්දුවෙන්. Reliance වැනි දැවැන්ත සමාගමක් සමග එක්ව කටයුතු කිරීමෙන් අපට නව දැනුම මෙන්ම ක්‍රමෝපායික ප්‍රතිලාභ රාශියක් හිමි වේවි කියා අප සිතනවා.” MAS Brands හි ප්‍රධාන විධායක නිලධාරී විවේක් මේතා මහතා පැවසී ය.
MAS පිළිබඳව
පුළුල් පරාසයක පැතිරුණු ව්‍යාපාර එකතුවක් සමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2 කට අධික වාර්ෂික ආදායමක් උපයන MAS Holdings ලොව ඇඟලුම් ක්ෂේත‍්‍රයේ සුප‍්‍රකටම ‘design to delivery’ විසඳුම් සපයන සමාගමක් ලෙස සැලකේ. වසර 30 කට අධික ඉතිහාසයක් හිමි, දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදන සමාගමද වන එම සමාගමේ ප‍්‍රධාන කාර්යාලය ශ‍්‍රී ලංකාවේ පිහිටා ඇති අතර රටවල් 16 ක කර්මාන්තශාලා 52 ක සේවක සේවිකාවෝ 100,000 කට අධික පිරිසක් එහි සේවය කරති. එහි ඒකාබද්ධ සැපයුම් ජාලය සහ ක‍්‍රමෝපායික ලෙස ස්ථාපිත කරන ලද කර්මාන්තශාලා ආදිය නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් කාර්යක්ෂම ලෙස ලබාදීමට එම සමාගමට හැකියාව ලැබී ඇත. නිර්මාණශීලීත්වය, විශිෂ්ටත්වය හඹා යාම සහ ලොව විශිෂ්ටතම ක‍්‍රමවේද භාවිතයට ගැනීම වැනි හේතු නිසා එම සමූහය දැවැන්ත ව්‍යාපාරයක් බවට වර්ධනය වී තිබේ. වර්තමානය වන විට MAS Holdings සමූහය Wearable තාක්ෂණය, Femtech, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඇඟලුම්, ආරම්භක මට්ටමේ ව්‍යාපාර සහ ඇඟලුම් උද්‍යාන ඇතුළු විවිධ වර්ගයේ ව්‍යාපාර එකතුවකට හිමිකම් කියයි.
වැඩිදුර තොරතුරු සඳහා: www.masholdings.com
Reliance Retail Ventures Limited පිළිබඳව
Reliance Retail Ventures Limited යනු Reliance Industries Limited හි අනුබද්ධ සමාගමක් වන අතර, එය Reliance Industries Limited සමූහය යටතේ පවතින සියලුම පාරිභෝගික විකිණුම් කාණ්ඩයේ ව්‍යාපාර සඳහා මූලික සමාගම ලෙස කටයුතු කරයි. 2021 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී එම සමාගම ඉන්දියානු රුපියල් කෝටි 157,629 ක (ඇමරිකානු ඩොලර් බිලියන 21.6 ක) පිරිවැටුමක් සහ ඉන්දියානු රුපියල් කෝටි 5,481 ක (ඇමරිකානු ඩොලර් මිලියන 750 ක) ශුද්ධ ලාභයක් වාර්තා කරගැනීමට සමත් විය.
Reliance Retail Ventures Limited සමාගම ඉන්දියාවේ වැඩිම ආවරණ පරාසයක් සහිත, ඉහළම ලාභ ලබන පාරිභෝගික විකිණුම් සමාගම ලෙස සැලකේ. එය ලොව වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික විකුණුම් සමාගමක් ලෙස 2021 Deloitte හි Global Powers of Retailing දර්ශකයටද ඇතුළත් විය. Top Global Retailers හි අංක 53 ස්ථානය හිමිකරගෙන සිටින එම සමාගම, එම Top 100 ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් වූ එකම ඉන්දියානු පාරිභෝගික විකිණුම් සමාගමද වේ.
Video Story