ඉන්දීය කාර් මිල ඉහළට – මරුටි, හුන්ඩායි ලක්ෂයකින් වැඩිවෙයි

    January, 23, 2017

    මරුටි සුසුකි සහ හුන්ඩායි මෝටර් ඉන්දියා සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන ‍මෝටර් රථවල මිල ගණන් ඉන්දියානු රුපියල් ලක්ෂයක් දක්වා වන මිල මට්ටම්වලින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව ඉන්දියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කර සිටී. මෙම මිල ගණන් 2017 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන බව අදාළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන් වේ.

    අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, මෙම මිල ඉහළ දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පවසන ඉන්දියා ටයිම්ස් පුවත් සේවය මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ සෑම වසරකම ජනවාරි මාසයේ දී ඉන්දීය මෝටර්රථ මිල ගණන් ඉහළ යාම සාමාන්‍ය සිදුවීමක් බවයි.

    පෙර වර්ෂයේ අවසාන මාසයේ දී ගැණුම්කරුවන් ආකාර්ෂණය කර ගැනීම පිණිස විශාල වශයෙන් වට්ටම් ප්‍රදානය කරන මෝටර් රථ සමාගම්, එම හිඟය පියවා ගැනීමට නව වසරේ දී මෙලෙස මිල ඉහළ දැමීමේ උපක්‍රමය හරහා කටයුතු කරනු ලබන බව ද එහි සඳහන් වේ.

    මේ අතර ඉන්දියාව තුළ මෝටර් රථ නිෂ්පාදනය කරනු ලබන අනෙකුත් නිෂ්පාදකයින් වන Toyota, Honda, Renault, Mahindra & Mahindra සහ Tata Motors සමාගම් ද සිට නිෂ්පාදිතවල මිල ගණන් මෙම වසරේ ජනවාරි මාසයේ සිට සියයට 3 ක් දක්වා වන මට්ටම්වලින් ඉහළ දමන බව දැනටමත් නිවේදනය කර තිබේ.