ඉන්දීය වෛද්‍යවරුන්ගේ අනවසර සායන පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය

    March, 15, 2018

    “ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් උතුරු නැගෙනහිර අනවසර වෛද්‍ය සායන” යන මැයෙන් මාධ්‍ය මගින් පළ වූ වාර්තා කෙරෙහි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

    විදේශ රටවලින් පැමිණෙන වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම අනිවාර්යය කර ඇත. එම ලියාපදිංචිය ලබාගැනීමෙන් පසු සායන පැවැත්වීම සදහා අවසර හිමිවෙයි. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ද එම සායන පිළිබදව දැනුවත් කර තිබේ.

    පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ අවසරය සහ අධීක්ෂණය මත එම සායන පැවැත්වෙයි. කෙසේ වෙතත් මාධ්‍ය මගින් පළ වූ මෙම වාර්තා කෙරෙහි පරික්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා ලිපියක් මගින් ඊයේ (14) දැනුම් දී ඇත. එම විමර්ශනය පදනම් ව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.