ඉන්ධන ගෙන්වන්න ණයවර ලිපි විවෘත කරන්න රාජ්‍ය බැංකු දෙකට පුළුවන් කමක් නැහැ – ඇමති කංචන

    May, 18, 2022

    මේ වන විට අඩු මුදලට ඉන්ධන මිල දී ගැනීම සඳහා යෝජනා 64 ක් ලැබී ඇති බවත් ඒවායින් 39 ක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ ඒවා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (18) දින පාර්ලිමේන්තු සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එහිදී වැඩිදුරටත් පැවසුවේ එම යෝජනා ඉදිරිපත් කරන ලද සැපයුම්කරුවන් 39 දෙනා වෙනවෙනම කැඳවා සාකච්ඡා කළ නමුත් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වීමේ ගැටළුවක් මේ වන විට පැන නැඟී ඇති බවයි. රාජ්‍ය බැංකු දෙකට මේ වන විට ණයවර ලිපි විවෘත කිරීමට පුළුවන්කමක් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

    "මේ සභාවෙ දී විවිධ ප්‍රශ්න කළා විවිධ රටවල් වලින් ඉන්ධන මිල දී ගන්න පුළුවන් අඩු මුදලට, හොද ප්‍රමිතියට ඇයි මේක කරන්නේ නැත්තේ කියලා. ගරු කතා නායකතුමනි අපේ අමාත්‍යාංශයට යෝජනා 64ක් ලැබිලා තියනවා. ඊයේ ඒ 64 අතරින් ක්‍රියාත්මක කළ හැකි, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි මේ රටේ ප්‍රමිතීන්ට, මේ රටේ මිල ක්‍රමවේදෙට ගැලපෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කියලා 39ක් හඳුනා ගත්තා. ඒ තිස්නවය, සැපයුම්කරුවෝ අපි ඊයේ වෙනම කැදෙව්වා.

    හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ මොන යෝජනාව කළත් ණයවර ලිපි නිකුත් කරලා අපට ආනයනය කරන්න පුළුවන් කමක් නැහැ. ණයවර ලිපි විවෘත කරන්න රාජ්‍ය බැංකු දෙකටම පුළුවන් කමක් නැහැ. අපි අනිත් තියන පුද්ගලික බැංකුවලට ගියා ණයවර ලිපි විවෘත කරන්න. පසුගිය සතියේ අපි SBI බැංකුවට ගියා ණයවර ලිපි විවෘත කරන්න. මහ බැංකුව හරහා ඒකටත් අවශ්‍ය ගැරන්ටියක් දුන්නා. නමුත් ඔවුනුත් ඉල්ලුවේ සම්පූර්ණ මුදල තැන්පත් කරන්න කියලා.

    එතකොට සම්පූර්ණ මුදල තැන්පත් කරනවා කියන්නේ සාමාන්‍යෙයන් එක නැවකට අඩුම තරමේ ඩොලර් මිලියන 40ක් අවශ්‍යයි. අපි ඇස්තමේන්තු කරලා තියනවා ජුනි මාසේ සඳහා පමණක් අපිට ඩොලර් මිලියන 530ක් අවශ්‍යයි ඉන්ධන ආනයනය කරන්න. ඉන්දියානු ණය ක්‍රමය යටතේ අපිට යම් මුදලක් ලැබෙනවා. නමුත් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබුනත් හැම මාසෙකම අපේ ඉන්ධන මිල ඩොලර් මිලියන 530ක් දක්වා වර්ධනය වෙලා තියනවා. මේක මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තිබුනෙ ඩොලර් මිලියන 150 - 200 අතරේ. අපේ ඉන්ධන මිල ඉහල යාම, ඩොලරයේ මිල ඉහල යාම, ඒ වගේම අවශ්‍යතාවය වැඩි වීම, මොකද විදුලිය නොමැති වෙලාවේ ගෑස් නොමැති වෙලාවේ මේ දෙකම අතරේ අපේ ඉන්ධන සඳහා තියන ඉල්ලුම වැඩි වෙලා තියනවා."