April, 21, 2022
ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් මෙ වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ගණනාවක් වසා දමා තිබේ. ප්‍රදේශ ගණනාවකටම මේ වන විට දින 3-4ක පමණ කාලයක පටන් ඉන්ධන බෙදාහැරීමක් සිදුව නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා යුද හමුදා සහ ගුවන් හමුදා ආරක්ෂාව ලබාදීමට ඊයේ පස්වරුවේ තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් කළ දැනුම් දීමකට අනුව මෙම පියවර ගෙන තිබේ. ඉන්ධන පිරවුම්හල්වල සේවය කරන සේවකයින්ගේ සහ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල නිරත සේවකයින්ගේ ආරක්ෂාව පිණිස එම පියවර ගෙන ඇත.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ විරෝධතාවල නිරත පිරිස්, ඉන්ධන ප්‍රවාහන රථ, පිරවුම්හල් සහ ඒවායේ සේවකයින්ට පහරදීමේ සිදුවීම් නිසා මේ වන විට ඉන්ධන බෙදාහැරීමට ඔවුන් මැළිවී සිටින බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා මෙසේ කියා සිටියේය.
“දැනට ඉන්ධන පිරවුම්හල් කිහිපයකම ඒ ඒ කළමනාකරුවන්ට, සේවකයින්ට පහර දීලා තියෙනවා. ඉන්ධන පිරවුම්හල්වල දේපළවලට හානි කරලා තියෙනවා. ඔබේ පීඩනය අපිට තේරෙනවා. නමුත් ඒ පීඩනය ඉන්ධන පිරවුම්හල්වල සේවකයින්ගෙන් පිට කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. පිරවුම්හල්වලට අලාභ හානි කරන්න එපා. ඉන්ධන පිරවුම්හල් වැහුවාම ඉන්ධන බෙදාහරින්න වෙන කිසිම ක්‍රමයක් ලංකාවේ නැහැ.“
Video Story