ඉන්ධන මිල සූත්‍රයක අවශ්‍යතාවය මහ බැංකුව අවධාරණය කරයි

    November, 19, 2021

    මෑතකාලීන ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාව සහ වසරේ ඉතිරි කාලය තුළ මෙම ප්‍රවණතාව අඛණ්ඩව පැවතිය හැකි බවට පළ වී ඇති පුරෝකථන හේතුවෙන් ඉදිරි කාලපරිච්ඡේදය සඳහා වත්මන් මිල සංශෝධනය ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘මෑතකාලීන ආර්ථික ප්‍රවණතා - 2021 සුවිශේෂ සිදුවීම් සහ 2022 අපේක්ෂා‘ වාර්තාව මගින් මේ බව ප්‍රකාශ කර ඇත. මෙහිදී මහ බැංකුව අවධාරණය කර සිටින්නේ මේ සඳහා සුදුසු පිරිවැය පිළිබිඹු කරන මිලකරණ යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය  බවත් පූර්ව නිශ්චිත මිල සූත්‍රයක් මගින් ගෝලීය වෙළඳපොළෙහි ඕනෑම මිල පහත වැටීමක ප්‍රතිලාභ පාරිභෝගිකයා වෙත ක්ෂණිකව ළඟා කර දීමට මග පෑදිය හැකි බව විශේෂයෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවන බවත්ය.

    ගෝලීය ආර්ථිකයේ ඉල්ලුම පිළිබඳ හිතකර ඉදිරි දැක්ම සහ ඛනිජ තෙල් අපනයනය කරන රටවල (ඔපෙක්) සංවිධානය සහ එහි පාර්ශ්වකරුවන් විසින් සැපයුම් සීමා සහිත ලෙස පවත්වා ගෙන යෑම හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල ගණන් 2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටම් කරා වර්ධනය විය. 2021 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය තුළ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලෙහි සාමාන්‍යය එ.ජ. ඩොලර් 67.80ක් දක්වා ඉහළ ගියේ 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 58.3%ක වර්ධනයක් පිළිබිඹු කරමිනි. ගෝලීය වෙළඳපොළ ප්‍රවණතා අනුව යමින්, ලං.ඛ.නී.සං. මගින් ආනයනය කරන ලද බොරතෙල් බැරලයක මිලෙහි සාමාන්‍යය, 2021 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ එ.ජ. ඩොලර් 66.96ක් දක්වා 47.8%කින් ඉහළ යනු ලැබුවේ 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ එ.ජ. ඩොලර් 45.31ක් ලෙස වාර්තා වූ බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන මිලට සාපේක්ෂවය. මේ අතර, ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යෑමට ප්‍රතිචාර වශයෙන්, 2021 වසරේ ජුනි මාසයේ 12වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදිතවල දේශීය සිල්ලර මිල ගණන් ඉහළ නැංවිණි.

    කෙසේ වෙතත්, මෑතකාලීන ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාව සහ වසරේ ඉතිරි කාලය තුළ මෙම ප්‍රවණතාව අඛණ්ඩව පැවතිය හැකි බවට පළ වී ඇති පුරෝකථන හේතුවෙන් ඉදිරි කාලපරිච්ඡේදය සඳහා මෙම මිල සංශෝධනය ප්‍රමාණවත් නොවන බව පැහැදිලි වේ. ලං.ඛ.නී.සං.වේ මූල්‍ය ශක්‍යතාව පවත්වා ගැනීම සහ බැංකු පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගෙන යෑම සඳහා සුදුසු පිරිවැය පිළිබිඹු කරන මිලකරණ යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය වේ. එවැනි මිලකරණ යාන්ත්‍රණයකින් විනිවිදභාවය ද වර්ධනය කළ හැකි අතර, එමගින් මෙම ආනයනික නිෂ්පාදිත සම්බන්ධයෙන් වඩාත් අවශ්‍ය වන ක්‍රමානුකූලව මිල ගණන් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සඳහා සාමාන්‍ය ජනතාවගේ පිළිගැනීම ද වැඩිදියුණු කළ හැකිය. පූර්ව නිශ්චිත මිල සූත්‍රයක් මගින් ගෝලීය වෙළඳපොළෙහි ඕනෑම මිල පහත වැටීමක ප්‍රතිලාභ පාරිභෝගිකයා වෙත ක්ෂණිකව ළඟා කර දීමට මග පෑදිය හැකි බව විශේෂයෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවේ.

    සමස්ත ඛනිජ තෙල් නිෂ්පාදිත අලෙවිය සලකා බැලීමේ දී, 2021 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අට තුළ සුළු වර්ධනයක් පමණක් දක්නට ලැබුණි. ලං.ඛ.නී.සං. මගින් විවිධ අංශ සඳහා කළ අලෙවිය පිළ යෑමක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් සංචරණ සීමා හා සංචාරක ව්‍යාපාරයේ පසුබෑම පෙන්නුම් කරමින්, ලං.ඛ.නී.සං. විසින් ගුවන් සේවා අංශය වෙත අලෙවි කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදිත ප්‍රමාණය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 22.2%ක පහළ යෑමක් වාර්තා කළේය. එමෙන් ම, සලකා බලන කාල සීමාව තුළ ජල විදුලි උත්පාදනය ඉහළ යෑම හේතුවෙන් විදුලි උත්පාදන අංශයේ ඛනිජ තෙල් සඳහා ඉල්ලුම ද පහළ ගියේය. 

    2021 වසරේ දී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් තෙල් හා ස්වභාවික වායු ගවේෂණ කටයුතු වෙනුවෙන් සක්‍රීයව පියවර ගැනීම හේතුවෙන් අක්වෙරළ හයිඩ්‍රොකාබන් ගවේෂණය, සංවර්ධනය සහ නිෂ්පාදනය ආශ්‍රිත විශේෂ කඩඉම් කිහිපයක් කරා ළඟා වීමට හැකි විය. 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත බලාත්මක වීම එහි ප්‍රධාන ජයග්‍රහණයක් විය. මෙම පනත මගින් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීමට සහ උද්ගාමී ඛනිජ තෙල් කර්මාන්තය (upstream petroleum industry) පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට මග පෑදේ. තවද, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීම, සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධ සියලුම ක්‍රියාවලි නියාමනය කිරීමේ නෛතික රාමුව ලෙස ද මෙය ක්‍රියාත්මක වනු ඇත.

    ඡායාරූපය - දිවංගත මංගල සමරවීර මහතා පසුගිය රජයේ සමයේ මුදල් අමාත්‍යවරයාව සිටිය දී හඳුන්වා දෙන ලද ඉන්ධන මිල සූත්‍ර සමීකරණය රටට හෙළි කළ අවස්ථාව