ඉහළම තාක්ෂණයේ ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් ලබන වසර මුල දී

    October, 25, 2021

    ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවට ලබා දීමට කටයුතු කරනු ලබන බව තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (25) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති LANKAQR ජනගත කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “ලබන අවුරුද්ද මුල කාර්තුව වෙන කොට නැෂනල් අයි.ඩී. එක ඩිජිටලයිසේෂන්වලට අපි යනවා. ඒ තුල ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් අපේ රටේ ජනතාවට ලබන අවුරුද්දේ ලැබෙනවා. උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා එක් අංකයක් ලැබෙනවා වගේම, එක ඇඟිලි තුඩුවකින් නැත්නම් ෆේෂල් රෙකග්නිෂන්වලින්, අයි රෙකග්නිෂන්වලින්, ෆින්ගර්ප්‍රින්ට් එකෙන්, බයොමෙට්‍රික්වලින් ඔබේ අවශ්‍යතාවයන් ඉටුකරගන්න පුළුවන් හැඳුනුම්පතක් ලැබෙනවා. ඒ සඳහා හෙල්ත් කාඩ් එක, ඇග්‍රි කාඩ් එක, ෆර්ටිලයිසර් කාඩ් එකේ ඉඳන් මේ සියල්ල ප්‍රොෆයිල් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ලබන අවුරුද්දේ අපි ආරම්භ කරනවා“, යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.