ඉ-රාජ්‍ය ක්‍රියාවලියෙන් කලාපයේ පළමු තැන ශ්‍රී ලංකාවට

    October, 29, 2019

    ඉ-රාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැංවීම පිළිබඳ සංයුක්ත දර්ශකයට අනුව ශ්‍රී ලංකාව කලාපයේ පළමු ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන තිබේ. මෙය 2014 වර්ෂයෙන් පසු සිදු වු සීඝ්‍ර වර්ධනයක ප්‍රතිඵලයකි.

    රටක ව්‍යාපාරික දර්ශකය, ජාලගත ක්‍රියාකාරී දර්ශකය මෙන්ම සංයුක්ත දර්ශකය රටක සංවර්ධනය පිලිබඳ අන්තර්ජාතික ඇගැයුමක් ලෙස සලකනු ලැබේ.

    කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති මෙම ප්‍රගතිය ඉන්දියාවට වඩා දර්ශක දෙකින් ඉදිරියෙන් සිටී. බංග්ලාදේශය පසුගිය වසර 10 තුල දර්ශක 27 කින් ඉදිරියට පැමිණ තිබේ. 2008 වසරේ බංග්ලාදේශයට දර්ශක 8කින් පහළින් සිටි නේපාලය මේ වන විට එම දර්ශකයේ කැපී පෙනෙන අයුරින් ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථීක හා සමාජ සබදතා පිළිබඳ දෙපාර්තමේන්තුව වසර දෙකකට වරක් නිකුත් කරනු ලබන සංයුක්ත දර්ශකය මෙම තොරතුරු අනාවරණය කරනු ලැබ තිබේ. ලෝකයේ රටවල ඉ-රාජ්‍යය සංකල්පයේ ක්‍රියාකාරිත්වය ඇගැයුමට ලක් කිරීම මෙම සමීක්ෂණයේ අරමුණයි.

    අන්තර්ජාල වෙබ් අඩවි ඇසුරින් රාජ්‍ය කටයුතු සදහා සිවිල් ජනයා සම්බන්ධවීමත් මෙමගින් සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමත් මෙමගින් ඇගැයුමට ලක් කෙරිණි.

    ලර්න් ඒෂියා කළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ  හා ඉන්දියාවේ වයස 15-65 අතර ජනතාවගෙන් සියයට 30-31අතර ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිතයෙන් රාජ්‍යසේවා ලබා ගනිමින් කලාපයේ වැඩිම සේවා ලබාගන්නා රටවල් අතරට එක්ව තිබේ. අඩුම අන්තර්ජාල සේවා ලබා ගන්නා රටවල දර්ශකය සියයට 10- 13 ත් අතර වේ.

    මේ අතර ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් සියයට 42ක් තවමත් රාජ්‍ය සේවා ලබා ගැනීමට දැනුමක් නොමැති බවද අනාවරණය වී තිබේ. සියයට 30ක් එම දැනුමක් ඇතත් එහි ප්‍රයෝජනය වටහා ගෙන නොමැති බවද දැක්වේ.