June, 26, 2023
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ - ආසියා වාණිජ මණ්ඩලය සමඟ එක්ව ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට තොරතුරු ලබාදීම සඳහා අන්තර්ජාල සැසියක් පසුගියදා සංවිධානය කළ අතර ශ්‍රී ලංකාවෙන් සහ ඊශ්‍රායලයෙන් පුද්ගලයින් 275 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.
කෙටිකාලීන අපනයන ප්‍රවර්ධන උපාය මාර්ගයක් ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම සහ ඊශ්‍රායල වෙළඳපොළේ නව ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා වේදිකාවක් සැපයීම මෙම සැසියේ අරමුණ විය.
ඊශ්‍රායල වෙළඳපොළට ප්‍රවේශ වීම, තත්ත්ව ප්‍රමිති අවශ්‍යතා, ආනයන සහ අපනයන ක්‍රියා පටිපාටි, ඊශ්‍රායලයේ බදු ක්‍රමය, නීතිමය අවශ්‍යතා, වෙළඳ විභවය සහ ඊශ්‍රායල වෙළඳපොළට ඇතුළු වීම සඳහා වන කොන්දේසි පිළිබඳ අවබෝධයක් මෙම සැසිය මඟින් ලබා දෙන ලදි.
පොල් නිෂ්පාදනය, තේ සහ ඔසු තේ, වියළි පලතුරු, නැවුම් සහ ටින් කළ මාළු, මැණික් හා ස්වර්ණාභරණ, ඇඟලුම්/ යට ඇඳුම් නිෂ්පාදන, ඛනිජ ජලය, හකුරු සහ මී පැණි, කුරුඳු, පෝසිලේන් නිෂ්පාදන, සහ මෘදුකාංග සංවර්ධනය වැනි ක්ෂේත්‍ර කෙරෙහි ඊශ්‍රායල ගැනුම්කරුවෝ උනන්දුවක් දැක්වූහ.
මෙම දැනුවත් කිරීමේ සැසිය සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති එම්.එච්.එම්. නිමල් බණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා සහභාගී වූ අතර මෙම සංවාදය දිගටම කරගෙන යාමටත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ඉදිරියේදී තවත් වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමටත් එකඟතාවය පළ කරන ලදී.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ශ්‍රී ලංකා අපනයනකරුවන් ඔවුන්ගේ ඊශ්‍රායල ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කිරීම අරමුණු කරගනිමින් අනාගතයේ දී විවිධ ක්ෂේත්‍ර සදහා විශේෂිත B2B රැස්වීම් සහ අමතර ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරනු ඇත.
Video Story