ඊ-ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

    November, 18, 2020

    ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සහ ඊ-ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

    "රට හදන සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධානම අරමුණු දහයෙන් එකක් වන "සුහුරු ජාතියක්" යන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුවක් සහ ඒ සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ගයක් රජය විසින් අනුගමනය කරනු ලබන අතර එයට ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙස ප්‍රමුඛතාවය ලබා දී ඇත. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ශ්‍රී ලංකාව සඳහා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සකස් කර ඇති අතර, ඒ යටතේ එක් සංරචකයක් වශයෙන් විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හඳුනාගෙන තිබේ. ඒ අනුව, පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * අදාළ වැඩසටහන් සැලසුම් කිරීමේ කමිටුව විසින් අවසන් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාව සඳහා වන ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුවට අනුමැතිය ලබා දීම.

    * ශ්‍රී ලංකාව සඳහා වන ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම පිණිස ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කිරීම.

    * ශ්‍රී ලංකාව සඳහා වන ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙත පැවරීම.

    * ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඊ-ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.

    * ශ්‍රී ලංකාව සඳහා වන ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව හා ඊ-ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පහසු කිරීම පිණිස 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම.

    * එම ව්‍යාපෘතිය 2022-12-31 දින වන විට අවසන් කිරීම.