October, 13, 2026
පෑන් ඒෂියා බැංකුව සිය ‘තිරසර කෘෂිකාර්මික ණය වැඩසටහන – 2026’ යටතේ උතුරු මැද පළාතේ කෘෂිකර්මාන්තයේ යෙදෙන සුළු පරිමාණ ගොවීන්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක වාරි පද්ධති සඳහා මූල්‍ය පහසුකම් දීමට පියවර ගෙන තිබේ. Our Movement of Lanka (OML) සංවිධානය සමඟ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මඟින් ගොවීන්ගේ ඉන්ධන වියදම් අවම කරමින් කෘෂිකාර්මික කටයුතුවල කාර්යක්ෂමතාව සහ තිරසරභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන පිළිබඳව ගොවි ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් සැප්තැම්බර් 11 අනුරාධපුර ගලෙන්බිඳුණුවැවදී පැවැත්විණි. ගොවි මහත්ම මහත්මීන් සහ ප්‍රජා නායකයන් 50කට ආසන්න පිරිසක් සහභාගි වූ එම හමුවේදී සූර්ය බලයෙන් ක්‍රියාත්මක වාරි පද්ධතිවල ප්‍රතිලාභ සහ ඒ සඳහා බැංකුවෙන් ගත හැකි මූල්‍ය පහසුකම් පිළිබඳව කරුණු පැහැදිලි කෙරිණි. සාර්ථකව ක්‍රියාත්මක කළ සූර්ය බල ජල පොම්ප ව්‍යාපෘතියක්ද එහිදී ඉදිරිපත් කෙරිණි.
සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප භාවිතය මඟින් පොසිල ඉන්ධන මත යැපීම අවම කර ගැනීමටත්, වගාවට ජලය සැපැයීමේ පිරිවැය අඩු කර ගැනීමටත් ගොවීන්ට අවස්ථාව හිමි වේ. කෘෂිකාර්මික ඵලදායිතාව වැඩි දියුණු කිරීම සහ ගොවි ප්‍රජාවට විධිමත් මූල්‍ය සේවා වෙත ප්‍රවේශය පුළුල් කිරීමද මෙම වැඩසටහනේ අරමුණු අතර වේ.
පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා සඳහන් කළේ ගොවීන්ට කෘෂිකර්මාන්තයේ ප්‍රායෝගික අවශ්‍යතාවලට ගැළැපෙන මූල්‍ය විසඳුම් අවශ්‍ය බවයි. සූර්ය බල වාරි පද්ධති ගැනීම පහසු කිරීම තුළින් වියදම් අඩු කර ගැනීමට, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ වඩාත් තිරසර ජීවනෝපායක් ගොඩ නඟා ගැනීමට ගොවීන්ට සහාය විය හැකි බව ඔහු පැවසීය. OML සමඟ ඇති හවුල්කාරිත්වය මෙම පහසුකම් උතුරු මැද පළාතේ ගොවි ප්‍රජාව වෙත සෘජුවම ගෙන යාමට ඉවහල් වන බවද ඔහු සඳහන් කළේය.
OML සංවිධානය උතුරු මැද පළාතේ ක්‍රියාකාරී සාමාජික ගොවීන් 5,000කට අධික පිරිසක් සමඟ කටයුතු කරයි. මිරිස්, කොමඩු, වම්බටු, මාළු මිරිස්, තක්කාලි සහ කැන්ටලූප් වගාකරුවෝ ඒ අතර වෙති. මෙම හවුල්කාරිත්වය යටතේ කෘෂිකාර්මික මූල්‍යකරණයට අදාළ අවදානම් භාර ගනිමින් සහනදායී කොන්දේසි මත සූර්ය බල ජල පොම්ප සඳහා මූල්‍ය පහසුකම් සැපැයීමට පෑන් ඒෂියා බැංකුව කටයුතු කරයි.
බැංකුවේ ශාඛා ණය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී නිමල් රත්නායක මහතා පැවැසුවේ තිරසර වාරි විසඳුම් සඳහා ආයෝජනය කිරීමට සුළු පරිමාණ ගොවීන්ට ඇති මූල්‍ය හැකියාව පුළුල් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි. සහනදායී මූල්‍ය පහසුකම් තුළින් සූර්ය බල තාක්ෂණය භාවිතයට ගැනීමටත්, ගොවිතැන් කටයුතුවල කාර්යක්ෂමතාව හා තිරසරභාවය ඉහළ නැංවීමටත් ගොවීන්ට සහාය වන බව ඔහු සඳහන් කළේය.
වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ ගොවි මහතෙකු පැවසුවේ සූර්ය බල ජල පොම්පය භාවිතයෙන් වගාවට ජලය සැපැයීම පහසු වී ඇති අතර ඉන්ධන මත යැපීමද අඩු වී ඇති බවයි. මූල්‍ය පහසුකම් හිමි වීම නිසා මෙම තාක්ෂණය තමන් වැනි ගොවීන්ට ප්‍රායෝගික විසඳුමක් වී ඇති බව ඔහු සඳහන් කළේය.
ප්‍රජාවගේ අවශ්‍යතාවලට ගැළැපෙන මෙවැනි මූල්‍ය විසඳුම් හරහා පිරිසිදු බල ශක්ති තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට ගොවීන් දිරි ගන්වමින් තිරසර කෘෂිකාර්මික ජීවනෝපාය ශක්තිමත් කිරීමට පෑන් ඒෂියා බැංකුව අඛණ්ඩව දායක වෙයි.
Video Story