2027 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 3.7% දක්වා සීමා වනු ඇතැයි IMF කියයි

    October, 13, 2026

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook) වාර්තාවට අනුව, 2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 3.7 දක්වා සීමා වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එහිදී මෙම වසරේ (2026) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඇස්තමේන්තු කර ඇත්තේ සියයට 4.0ක් වශයෙනි.

    එමෙන්ම, 2027 වසර සඳහා මෙරට උද්ධමන අනුපාතය සියයට 5.4 ක් ලෙසත්, විරැකියා අනුපාතය සියයට 3.9 ක් ලෙසත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මූල්‍ය අරමුදලේ මෙම නවතම වාර්තාව අනාවරණය කරයි.

    ගෝලීය වශයෙන් ගත් කල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2026 වසරේදී සියයට 3.1 කින් සහ 2027 වසරේදී සියයට 3.4 කින් ගෝලීය ආර්ථිකය වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කරයි. මීට අමතරව, ගෝලීය මූලික උද්ධමනය මෙම වසරේදී සියයට 4.7 දක්වා ඉහළ ගොස් 2027 වන විට සියයට 4.1 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂිත බව මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දේ.

    යුක්‍රේනය සහ බටහිර ආසියාව තුළ පවතින යුදමය තත්ත්වයන්, ඒ හේතුවෙන් බලශක්ති සහ අනෙකුත් භාණ්ඩ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ වෙළඳ බාධකයන්හි සිදු වී ඇති සැලකිය යුතු වෙනස්කම් මෙම ගෝලීය උද්ධමන තත්ත්වයට ප්‍රධාන ලෙස බලපා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.