2023 අවසානයේ දී උද්ධමනය සියයට 10න් පහළට – මහ බැංකුවෙන් පුරෝකථනයක්

    April, 6, 2023

    කොළඹ පාර්භෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2023 මාර්තු මාසයේ දී අඛණ්ඩව හයවන මාසයටත් පහළ ගියේය.

    මෑතක දී විදුලි ගාස්තු ඉහළ නැංවීමේ සැලකිය යුතු බලපෑම මෙන්ම මීට පෙර විදුලි ගාස්තු ඉහළ දැමීම්වල අපේක්ෂිත වකු බලපෑම් හමුවේ වුවද පුධාන වශයෙන් ආහාර උද්ධමනය පහළ ගියේය.

    මේ අතර, ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩනයන් හි අඛණ්ඩ පහළ යෑම පිළිබිඹු කරමින් මූලික උද්ධමනය ද 2023 මාර්තු මාසයේ දී අඛණ්ඩව හයවන මාසයටත් පහළ ගියේය.

    ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් අඩු වීම වෙළෙඳපොළ වෙත වේගයෙන් සම්ප්‍රේෂණය වීම සහ ශ්‍රී ලංකා රුපියල මෑතක දී අතිප්‍රමාණය වීම සමඟ දේශීය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩුවීම සහ සංඛ්‍යානමය පදනම් බලපෑම හේතුවෙන් වූ විශාල නිර්-උද්ධමන බලපෑම සමඟ 2023 අප්‍රේල් මාසයේ සිට උද්ධමනය වේගයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ඉල්ලුම අඩු වීම සහ වැඩිදියුණු වූ දේශීය සැපයුම් තත්ත්ව මෙන්ම උද්ධමන අපේක්ෂා පාලනය වීමේ ද සහායෙන් ඉදිරි කාලයේ දී අපේක්ෂිත නිර්-උද්ධමන ක්‍රියාවලිය සහතික කෙරෙනු ඇත.

    ඒ අනුව, 2023 වසර අවසානය වන විට මතුපිට උද්ධමනය තනි අගයක මට්ටම් කරා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ඉන් පසුව මැදි කාලීනව උද්ධමනය අපේක්ෂිත මට්ටම්වල ස්ථාවර වනු ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසරේ 03 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත්කරමින් මේ බව සඳහන් කරයි.

    "අලුත්ම පුරෝකථනයත් සමඟම උද්ධමනය අඩුවීමේ වේගය තවදුරටත් තීව්‍ර වෙලා තියෙනවා. ඒ අනුව අපි අපේක්ෂා කරනවා මේ වසර අවසානය වන විට එක අගයක, සියයට 10ට වඩා අඩු අගයයක උද්ධමන අනුපාතයක් මේ වසර අවසානයේ ලබා ගැනීමට හැකියාව ලැබෙයි කියලා. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම දේශීය ආර්ථිකයේ අපි බලාපොරොත්තු වන සැපයුම් අංශයේ වර්ධනයන්, ඒ වගේම ජාත්‍යන්තර භාණ්ඩවල මිල ගණන් අඩුවීමේ වාසිය මහජනතාවට ලැබීමත්, ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම තුළින් ආනයන උද්ධමනය අඩුවීමේ වාසිය භාණ්ඩ හා සේවා මිල ගණන්වලට සම්ප්‍රේෂණය වීමත් එක්කම, භාණ්ඩ හා සේවාවල මිල අඩුවීමේ ප්‍රවණතාවය උද්ධමනය අඩුවීමට හේතුවනු ඇත", යි යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ මහතා පැවසීය.