උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස් සමඟින් උස්වත්ත සමාගම බිස්කට් වෙළඳපලට පිවිසෙයි

    July, 10, 2018

    අභිමානවත් ලෙස දේශිය වෙලඳපලට හඳන්වා දුන් බිස්කට් නිෂ්පාදන වර්ග පෙළක්ම දැන් දිවයින පුරා

    ශ්‍රී ලංකාවේ පැරණිතම රසකැවිලි නිෂ්පාදකයා වන උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් බිස්කට් වෙළද පලට පිවිසෙමින් “උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස්“ නමින් නව බිස්කට් වර්ගයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස් දියත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.

    උස්වත්ත සමාගමේ නිර්මාතෘ දිවංගත පී. ජේ .සී (ක්‍රිස්ටි) පෙරේරා මහතා තුළ දිගුකාලීන සිහිනයක්ව තිබූ මෙම බිස්කට් නිෂ්පාදන කර්මාන්ත ශාලාව උස්වත්ත සමාගමේ වත්මන් සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ වරයා වන එස්. කුයින්ටස් පෙරේරා ගේ දූරදර්ශි නායකත්වය යටතේ සහ විධිමත් සැලසුම්කරණය යටතේ වසර ගණනාවකට පසු යථාර්ථයක් කර ගැනීමට හැකිව තිබේ.

    උස්වත්ත ගෝල්ඩන් බිස්කට් වර්ග 6 කින් සමන්විත වන අතර ඉන් ක්‍රීම් ක්‍රැකර්, මාරි, ලෙමන් පෆ් Hard Dough බිස්කට් වන අතර චොකලට් ක්‍රීම්, නයිස් සහ ෂෝටීස් බිස්කට් වර්ග ලෙස හැදින්වෙයි. සම්පූර්ණයෙන් සෞඛ්‍යාරක්ෂිතව ජාත්‍යන්තර මට්ටමන් නිපදවන මෙම උස්වත්ත බිස්කට්ස් සඳහා එක්සත් රාජධානියෙන් සහ නෙදර්ලන්තයෙන් ගෙන්වන උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිත කරයි. උසස් තත්වයෙන් බිස්කට් නිෂ්පාදනය කිරීම සඳහා උස්වත්ත සමාගම විසින් දේශිය හා විදේශිය විශේෂඥයින්ගේ උපදෙස් මත ලෝකයේ උසස්තම යන්ත්‍රෝපකරණ මෙරටට ගෙන්වා තිබේ. මිල්ලනිය ප්‍රදේශයේ වර්ග අඩි 100000 ක බිම් ප්‍රදේශයක පිහිටුවා ඇති උස්වත්ත කර්මාන්ත ශාලාව පිහිටුවා ඇති අතර වෙළඳ පල ඉල්ලුම අනුව නිෂ්පාදන ධාරිතාව වැඩිකරගැනීම සඳහා අක්කර 15ක ඉඩමක මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇත.

    උස්වත්ත බිස්කට් හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් උස්වත්ත සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ කුයින්ටස් පෙරේරා මහතා සඳහන් කළේ උස්වත්ත බිස්කට්ස් යනු සිය පියාගේ දීර්ඝ කාලීන සිහිනයක් බවයි. උස්වත්ත බිස්කට්ස් නිපදවීමේදී ආරම්භයේ සිටම උසස් තත්වය සහ සෞඛ්‍යාරක්ෂිත බව සඳහා ප්‍රමුඛතාව දෙන බවත් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට මෙම බිස්කට් වෙළදපලට හඳුන්වා දෙන බවත් හෙතෙම ප්‍රකාශ කලේය. සිහින සැබෑවීම උස්වත්ත පවුලේ සියලුම දෙනාට සුවිශේෂි වන බව සඳහන් කළ උස්වත්ත සභාපතිවරයා පෙන්වා දුන්නේ උස්වත්ත බිස්කට්ස් නව ගමනක ආරම්භයක් බවයි.

    උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් පුද්ගලික සමාගම උසස් තත්වයේ සෞඛ්‍යාරක්ෂිත රසකැවිලි සහ ස්නැක් වර්ග නිපදවීම පිළිබද මෙරට ප්‍රමුඛතම සමාගමකි. වසර 63 කට වඩා වැඩි ඉතිහාසයක් සහිත උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් ශ්‍රී ලංකාවේ පැරණිතම කන්ෆෙක්ෂනරි සමාගමයි. ටිපි ටිප්,වේෆර්ස්,ග්ලූකෝරස, ජුජුබ්ස්, පාර්ටි, පෙපර්මින්ට්, ජෙලි, ග්ලූකෝලයිෆ්, ෆෘට් කැන්ඩි සහ ජම්බෝ පීනට්ස් යනාදී නිෂ්පාදන රැසක් තිළිණ කරමින් මෙරට ජනතාව අතර ජනාදරයට පත් උස්වත්ත කන්ෆෙක්ෂනරි පුද්ගලික සමාගම සහෝදරයින් දෙදෙනෙක් වන ක්‍රිස්ටි පෙරේරා සහ ඇන්ටන් පෙරේරා විසින් පිහිටුවනු ලැබූ සමාගමකි. වර්ස 1956 දී ආරම්භ කළ මෙම සමාගම වර්ෂ 1961 දී රත්මලාන ප්‍රදේශයේ සිය පළමු කර්මාන්ත ශාලාව පිහිටවූ අතර එහි නිෂ්පාදන අතර ග්ලූකෝරස මෙරට ජනප්‍රියතම නිෂ්පාදනය බවට පත්විය.වසර 2009 දී උස්වත්ත සමාගමේ පරිපාලන කටයුතු කුයින්ටස් පෙරේරා මහතා අතට පත්වූ අතර ඒ මහතා එහි කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස උස්වත්ත සමාගම දුරදර්ශී නායකත්වයක් සැපයීම ආරම්භ කළේය. කුයින්ටස් පෙරේරා මහතා මෙරට රසකැවිලි ක්ෂේත්‍රයේ වඩාත් පළපුරුදදක් සහිත පුද්ගලයා වන අතර ඒ මහතා රසකැවිලි නිෂ්පාදනය පිළිබඳ ඇමරිකාවේ වින්කොන්සින් සරසවියෙන් උපාධියක්ද ලබාගෙන තිබේ.

    මැනවින් ස්ථාපනය කරන ලද දිවයින පුරා විහිදුන අලෙවි ජාලයක් සහ බෙදාහැරීම් ජාලයක් උස්වත්ත සමාගම සතු වෙයි. ඒ අනුව සියලුම උස්වත්ත නිෂ්පාදන මෙරට වෙළඳ සැල් 80000කට අධික ප්‍රමාණයකදී අලෙවි කෙරෙයි.තවද මීට අමතරව උස්වත්ත සමාගමේ නිෂ්පාදන එක්සත් රාජධානිය,ඔස්ට්‍රේලියාව, කැනඩාව,ඉන්දියාව,ඉතාලිය,ප්‍රංශය, ජපානය, සී ෂෙල්ස්,සහ මාලදිවයිනයන රටවලට අපනයනය කෙරේ.