එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ගෝලීය මානව සංවර්ධන වාර්තාව ශ්‍රී ලංකාවේදී දොරට වඩී

    January, 8, 2021

    • හරිත සංවර්ධන චින්තනය පදනම් කරගත් ජාතික සංවර්ධන සැලසුමක් හඳුනා ගැනීමට හා ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය
    • මිනිසුන් විසින් පෘථිවියට එල්ල කරනු ලබන අනතුරුදායක පීඩනය පූර්ණ වශයෙන් සැලකිල්ලට ගනිමින්, සංවර්ධනය කර යන මාවත නැවත සැලසුම් කිරීම සඳහා සෑම රටකටම කාලය එළඹී ඇති බව පෙන්වා දෙයි.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ගෝලීය මානව සංවර්ධන වාර්තාව ශ්‍රී ලංකාවේදී දොරට වැඩීම පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්, රාජ්‍ය හා පෞද්ගලික අංශ වල නිලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 30 වන වරට පළකරනු ලබන මෙම ගෝලීය මානව සංවර්ධන වාර්තාවේ මෙවර තේමාව වන්නේ  ‘ඉදිරි කඩඉම: මානව සංවර්ධනය හා මානව යුගය’ (‘The Next Frontier: Human Development and the Anthropocene’) යන්නයි. මෙහි ‘Planetary Pressures-Adjusted Human Development Index (PHDI)’ යනුවෙන්, මානව ප්‍රගතිය පිළිබඳ නව පර්යේෂණාත්මක දර්ශකයක් ඇතුළත් කර ඇති අතර,  එහිදී කාබන් ඩයොක්සයිඩ් විමෝචන සහ ද්‍රව්‍යාත්මක පිය සටහන (Carbon Dioxide Emissions and Material Footprint) සැලකිල්ලට ගැනේ. මෙවර වාර්තාව තුළ ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛයා ලෙස තම ස්ථානය නැවත වරක් තහවුරු කරගැනීමට සමත් වී ඇති අතර, ලොව රටවල් හා කලාප 169 ක් අතරින් ස්ථාන 34 ක් ඉදිරියට පැමිණීමටද සමත් වී ඇත.

    මානව සංවර්ධනයේ ගමන්මග තුළදී අප අවට භූමියට හා පරිසරයට ඉතිහාසය පුරාම බලපෑම් එල්ල වී ඇත. COVID-19 රෝග ව්‍යාප්තිය මානව වර්ගයා මුහුණ දෙන නවතම අර්බුදය බවට පත්වී ඇති අතර, මිනිසුන් පරිසරය වෙත එල්ල කරමින් සිටින මෙම පීඩනය ලිහිල් නොකළහොත් මෙබඳු අර්බුද තව තවත් පැමිණෙනු නිසැක බව මානව සංවර්ධන වාර්තාව පෙන්වා දෙයි.

    මානව සංවර්ධන දර්ශකය තුළදී, ‘ඉහළ මානව සංවර්ධන’ මට්ටමක් සහ 0.782 ක අගයක් සමගින් ලොව රටවල් හා කලාප 189 ක් අතරින් 72 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් සතුටු වෙමින් ගතකිරීමට කාලයක් ඉතිරි වී නොමැත. මෙයට හේතුව ශ්‍රී ලංකාව යනු දේශගුණික අවදානම් දර්ශකයේ අංක 6 ස්ථානයේ සිටින, දේශගුණික විපර්යාස අවදානමට දැඩිව මුහුණ දී සිටින රටවල් අතරින් එකක් වීම ය. මේ තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාව තීරණයක් ගත යුතු ව තිබේ. එම තීරණය නම්, පෘථිවිය කෙරෙහි ඇතිවන පීඩනය අවම කරන මානව සංවර්ධන මාවතක් තෝරාගැනීමයි.

    වාර්තාව එළිදැක්වීම සඳහා අතථ්‍ය (Virtual) ක්‍රමයට පැවති උත්සවයේදී වාර්තාව පිළිගනිමින්, බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකා රජයේ ඉලක්කය වන්නේ දේශීය ව්‍යවසායකයන් විසින් නව කර්මාන්ත බිහි කරනු ලබන හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. පුනර්ජනනීය බලශක්තිය මගින් අපට වියදම් අවම, කාබන් අවම බලශක්තියක් නිර්මාණය කිරීමට පුළුවන්. හරිත ආර්ථිකයක් මගින් බලශක්ති සුරක්ෂිතතාව වැඩිදියුණු වීම, පාරිසරික හා මහජන සෞඛ්‍යය වැඩිදියුණු වීම, සහ රැකියා ප්‍රමාණය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ යාම වැනි ප්‍රතිලාභ අත්වේවි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම සමගින් අපගේ සියලුම සංවර්ධන සැලසුම් වලදී පරිසරය ආරක්ෂා වන බව තහවුරු කිරීමට අප කැපවෙනවා. හරිත ආර්ථිකයක් කරා යන ගමනට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙතින් ලැබෙන මේ සහයෝගය අප පිළිගන්නේ ඉතාමත් සතුටින්.”

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබට් යූකම් මහතා මෙසේ අදහස් දැක්වී ය. “COVID-19 රෝග ව්‍යාප්තිය නිසා ඇතිවූ සමාජ ආර්ථික බලපෑම සැලකිල්ලට ගනිමින්, හරිත සංවර්ධන චින්තනය පදනම් කරගත් ජාතික සංවර්ධන සැලසුමක් හඳුනා ගැනීමට හා ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාවට සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කැපවී සිටිනවා. රජය, පෞද්ගලික අංශය, සිවිල් සමාජය, විද්වතුන්, සංවර්ධන හවුල්කරුවන් සහ එක්සත් ජාතීන්ගේ සෙසු ආයතන ඇතුළු සියලුම පාර්ශ්ව සමඟ එක්වී හරිත සංවර්ධන දිශානතියක් වෙත පිවිසීම සඳහා අවශ්‍ය පදනම නිර්මාණය කිරීමට අත්වැලක් වීම අපගේ ඉලක්කයයි.”

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරිකා හැනා සිංගර්-හම්ඩි මහත්මිය මෙසේ සිය අදහස් පළකළා ය. “වාර්තාවේ දක්වා ඇති, පෘථිවියේ හා සමාජයීය අසමබරතාවන්ගේ ගැඹුරු අන්තර්සම්බන්ධය දෙස බලන විට, මේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සාධාරණත්වය, සමානාත්මතාව සහ මානව හිමිකම් තහවුරු කිරීමේ වැදගත්ම අවධාරණය කිරීමට මා කැමතියි. තවමත් කිසිදු රටක් පෘථිවියට අවම බලපෑම් ඇතිව ඉහළ මානව සංවර්ධනයක් කරා ළඟා වී නොමැති පසුබිමක, සියලුම පාර්ශ්ව වල අදහස් වලට ඉඩක් ලැබෙන සමෝධානික සහ සහභාගීත්ව ප්‍රවේශයක් අපට අවශ්‍ය වී තිබෙනවා. අප ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගයට පිළියම් සෙවීමට අපට හැකිවන්නේ එසේ කිරීමෙන් පමණයි.”

    මානව සංවර්ධනයේ මීළඟ කඩඉමේදී පරසරයට එරෙහිව නොව එය සමග එක්ව කටයුතු කරන අතරම, සමාජ සම්මතයන් හා වටිනාකම් ආදිය මෙන්ම රාජ්‍ය හා මූල්‍ය වැඩසටහන්ද පරිවර්තනයකට ලක්කළ යුතු වන බවට මෙම වාර්තාව තර්ක කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සේරා හල්ටන් මහත්මිය මෙසේ පැවසුවා ය. “ශ්‍රී ලංකාවේ සරුසාර ජෛව විවිධත්වය, දේශගුණික තත්ත්වන්ට නිරාවරණය වීමේ හැකියාව මෙන්ම, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ඇතුළු බොහෝ ජීවනෝපායන් තුළදී පරිසරය මත රඳා පැවතීමට සිදුවීම යනාදී සාධක දෙස බලන විට පරිසරය සම්බන්ධයෙන් වහාම නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම, පරිසරය සුරක්ෂිතව පවත්වාගැනීම, ස්වභාව ධර්මය පදනම් කරගත් විසඳුම් ඔස්සේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ, ඒ සඳහා රජයට හා රටේ ජනතාවට සහයෝගය ලබාදීම, එක්සත් රාජධානිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව ශ්‍රී ලංකාව තුළ වැඩ කරමින් සිටින අප බොහෝ දෙනෙකුගේ පොදු අරමුණක්.”

    වාර්තාවේ දැක්වෙන ආකාරයට, මේ නව යුගයේදී ජනතාවට සෞභාග්‍යය ළඟා කරගැනීමට ඉඩකඩ සලසන අතරම පෘථිවිය වෙත එල්ල වී ඇති පීඩනය අවම කිරීමට නම්, පරිවර්තනය සඳහා ඇති ඉඩකඩ අහුරාලන, බලය හා අවස්ථා අතර ඇති දැඩි අසමබරතාව ඉවත් කළ යුතු වේ. සංවාදශීලී කතාබහක් අතරතුර මෙය අවධාරණය කරමින්, ‘Jetwing Symphony’ හි සභාපති හිරාන් කුරේ මහතා මෙසේ පැවසී ය. “මානව සංවර්ධනය ගැන අවධානය යොමුකරමින් හරිත ආර්ථිකයක් වෙත මාරු වීමට අවශ්‍ය නම් අපගේ චින්තන රටාව වෙනස් කරගත යුතුයි. මෙහිදී වඩාත් හොඳ සහයෝගීත්වයක් වගේම, ඇත්ත වශයෙන්ම වෙනසක් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන, දිවයින පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්  දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වනවා.”

    වාර්තාව දොරට වැඩීමෙන් අනතුරුව ‘නව සමාජ ගිවිසුමක්: පෘථිවියට බලපෑම් අවම කළ මානව සංවර්ධනයක්’ (‘A New Social Compact: Human Development with Reduced Planetary Pressures’) යන තේමාව යටතේ සංවාදයක් පවත්වන ලදි. එය මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රතිපත්ති හා දායකත්ව විශ්ලේෂක රාෂිඩ් රීසා මහතා විසිනි. මෙම සංවාදයට ‘Ananta Sustainables නිර්මාතෘ සවේරා වීරසිංහ, ‘Global Strategic Corporate Sustainabilityහි සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රවී ප්‍රනාන්දු, ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා යුරෝපා සංගම් උප නියෝජිත Thorsten Bargfrede, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ/ ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ, ‘National English Daily හි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ශබියා අලි අහ්ලාම්, ‘Eco-Friendly Volunteers නිර්මාතෘ/ සභාපති කාංචනා වීරකෝන් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගනේෂමූර්ති මුරුගේසු යන මහත්ම මහත්මීහු එක්වූහ.

    මෙම අතථ්‍ය (Virtual) වැඩසටහන, 2020 මානව සංවර්ධන වාර්තාවේ ඇතුළත් කරුණු වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා, විවිධ පාර්ශ්වයන් සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් සිදුකරනු ලබන වඩාත් පුළුල් මට්ටමේ මැදිහත්වීම් මාලාවක එක් අදියරකි.

    2020 මානව සංවර්ධන වාර්තාව සහ පර්යේෂණාත්මක මට්ටමේ පවතින ‘Planetary Pressures-Adjusted Human Development Index (PHDI)’ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විශ්ලේෂණය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.lk.undp.org වෙත පිවිසෙන්න.