එක්සත් රාජධානියේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ අන්තර්ජාතික විභාගය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී

    February, 28, 2018

    ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය ආයතනය හා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ අන්තර්ජාතික විභාගය ප්‍රථම වරට පෙබරවාරි 21 වැනිදා 23 දක්වා දිනවල කොළඹදී පැවැත්වෙන බව දැනුම් දී සිටී.

    ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ ආයතනයත් එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ආයතන අතරත් ඇත්තේ දීර්ඝ සබඳතාවයකි.

    ලොව විවිධ කලාප නියෝජනය කරන වෛද්‍යවරුන් 44 දෙනෙකු මෙම විභාගයට පෙනී සිටීමට නියමිත ය. එහි විභාග පරීක්ෂකවරු ලෙස එක්සත් රාජධානියේ සිට පැමිණෙන ජ්‍යෙෂ්ඨ ස්නායු ශල්‍ය වෛද්‍යවරු 18 දෙනෙකු ද එක්වෙයි.

    මෙහිදී රෝගීන් සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසිනි. මෙම විභාගයේ වාචික පරීක්ෂණ පැවැත්වෙන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීය. මෙම විභාගයේ සායනික කොටස් කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ මස්තිෂ්ක සහ සුෂුම්නා මධ්‍යස්ථානයේදී පැවැත්වීම ද විශේෂත්වයකි.

    මෙම සමාරම්භක වැඩසටහන ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළ මෙරට ස්නායු ශල්‍ය වෛද්‍ය සේවා පිළිබඳ ජාත්‍යන්තර අවධානය දිනාගැනීමට කදිම අවස්ථාවක් නිර්මාණය වී තිබේ. එමෙන්ම මෙරට ස්නායු ශල්‍ය විද්‍යා අංශයේ  පර්යේෂණාත්මක අංශයේ කීර්තිය ඉහළ නැංවීමට ද මෙය උපකාරීවනු ඇත.

    මෙම සමාරම්භක වැඩසටහන සඳහා ආසිරි රෝහල් සමූහය මෙන්ම කොළඹ ජාතික රෝහල, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඇතුළු ආයතන රැසක සහාය හිමිව තිබේ.