එක්ස්පෝලංකා කොටස් වෙළෙඳපොළ හැර යද්දී ඩොලර් මිලියන 200 ක් ශ්‍රී ලංකාවට

    March, 13, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලතම සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත්වීමට (De-list) ගත් තීරණය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය මාර්තු 01 වැනිදා පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී මෙම තීරණය ගෙන තිබුණි.

    එහිදී සමාගමේ ප්‍රමුඛ කොටස් හිමියා වන SG HOLDINGS GLOBAL PTE.LTD විසින් සමාගමේ සෙසු කොටස් හිමියන් සතු සියලු කොටස් මිල දී ගැනීමට එකඟතාව පළ කර තිබුණි. එහිදී එක් කොටසක් වෙනුවෙන් ඔවුන් ගෙවීමට එකඟවී ඇති මිල රු. 185.00 කි.

    2023 දෙසැම්බර් 31 දින වන විට සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය කොටස් 1,954,915,000 කින් සමන්විත වූ අතර ඉන් කොටස් 1,611,532,626 ක් හෙවත් 82.43% ක අයිතිය SG HOLDINGS GLOBAL PTE.LTD සතුවිය.

    සමාගමේ කොටස් හිමියන්ගේ ලැයිස්තුවේ දෙවෙනියාට පසුවන්නේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි වත්මන් ප්‍රධාන විධායක නිලධාරීවරයා වන හනීෆ් යූසුෆ් මහතායි. ඔහු සතු කොටස් ප්‍රමාණය කොටස් 147,021,464 කි. එය සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 7.52% ක ප්‍රමාණයකි.

    මේ අතර පසුගිය දා එක්ස්පෝලංකා හොල්ඩිංග්ස්, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටියේ හනීෆ් යූසුෆ් මහතා, සිය කොටස් හිමිකාරීත්වය SG HOLDINGS GLOBAL PTE.LTD වෙත අලෙවි කිරීමට කැමැත්ත පළ කර ඇති බවයි. ඒ අනුව එම කොටස් ප්‍රමාණය ද SG HOLDINGS GLOBAL PTE.LTD විසින් මිල දී ගනු ලැබුවහොත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 90%කට ආසන්න හිමිකාරීත්වයකට SG HOLDINGS GLOBAL PTE.LTD වගකියනු ඇත.

    එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි 2023 දෙසැම්බර් 31 න් අවසන් අතුරු මූල්‍ය ප්‍රකාශනයට අනුව සමාගමේ මහජන පංගුව (Public shareholding) 9.919%කි. ඊට හිමිකම් කියනු ලබන කොටස්කරුවන් ප්‍රමාණය 20,850 කි.

    හනීෆ් යූසුෆ් මහතා සතුව ඇති කොටස් ප්‍රමාණය ද ඇතුළුව සෙසු සියලු කොටස් හිමියන් සතු ‌කොටස් ප්‍රමාණයන් SG HOLDINGS GLOBAL PTE.LTD විසින් මිල දී ගනු ලබන්නේ නම් ඔවුන්ට මිල දී ගැනීමට සිදුවන මුළු කොටස් ප්‍රමාණය කොටස් 343,382,974 කි. එහිදී එක් කොටසකට රු. 185.00 බැගින් ගෙවීමේ දී රු. බිලියන 63.52 ක් ගෙවීමට SG HOLDINGS GLOBAL PTE.LTD සූදානමින් පසුවේ. SG HOLDINGS GLOBAL PTE.LTD යනු විදේශීය සමාගමක් වන බැවින් මෙම රු. බිලියන 63.52 මුදල ඔවුන්ට ගෙවීමට සිදුවන්නේ විදේශ විනිමයෙනි. ඒ අනුව ඩොලරයක අගය රු. 310.00 කට ගණන් බැලුවද ඩොලර් මිලියන 204 ක් ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළට මෙම කොටස් අත්පත් කර ගැනීම තුළින් ගලා ඒමට නියමිතය.

    එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ Transpotation කර්මාන්ත කාණ්ඩය යටතේ ලැයිස්තුගත සමාගමකි. Logistics, Leisure, IT & Fresh produce එය නිරත ප්‍රධාන ව්‍යාපාරික අංශ වේ.

    එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි මෙම තීරණය පිළිබඳව, කොළඹ නාවික ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාල මහතාගෙන් Ada Derana Business විසින් විමසීමක් සිදුකරනු ලැබීය. නෞකා ප්‍රවාහන කර්මාන්තයේ විශේෂඥයකු වන රොහාන් මාසකෝරාල මහතා එහිදී පැවසුවේ මෙය සමාගමේ සුළුපරිමාණ කොටස්කරුවන්ට ඉතා හොඳ අවස්ථාවක් බවයි.

    “මේ වෙලාවේ ඒගොල්ලෝ කොටසකට offer කරනවා රු. 185 ක්. ඔවුන් ඒ තීරණය නිවේදනය කරන කොට 160 වගේ මාකට් එකේ trade වුණේ.  මගේ දැනුම හැටියට යථාර්ථය නම් ගෝලීය වශයෙන් Freight මාකට් එක down. කොවිඩ් ඉවර වුණාත් එක්කම 2019 තිබුණු මට්ටමට මේ කර්මාන්තය වැටුණා. ඒක උඩ මේ ගොල්ලන්ගේ තිබුණු ලාභ මුකුත් නැහැ දැන්. පහුගිය අවුරුද්ද බැලුවොත් ලාභ නෙමෙයි අලාභ ලබන තත්ත්වයක් තමයි තියෙන්නේ.  මගේ වටිනාකම අනුව නම් ප්‍රවාහන වෙළෙඳපොළ දිහා බැලුවාම කොටසක් රු. 100 ක් වත් වටිනාකමක් මම දකින්නේ නැහැ.  185 මම දකින්නේ premium එකක් විදියට.“

    “දැන් කොටස් වෙළෙඳපොළේ එක්ස්පෝලංකා කොටස් මිලියන 343 ක් තියෙනවා. ඒක ගන්න රු. 185 ගානේ ඒගොල්ලෝ දාන්න ඕනේ. ඒක එන්නේ ඩොලර්වලින්. ඒ හරහා ඩොලර් මිලියන 200ක පමණ මුදලක් කොටස් වෙළෙඳපොළට ඇතුල් වෙනවා. ඒකේදී ලාභ ලබන අයත් ඉන්නවා, පාඩු ලබන අයත් ඉන්නවා. එක්ස්පෝලංකා කොටස් මිල රු. 400ට විතර යද්දී ගත්තු අයත් ඔතන ඉන්නවා. ඒගොල්ලෝ Freight industry එක ගැන නොදැන කරපු ආයෝජනයක් මට තේරෙන්නේ. දිගුකාලීනව පුරෝකථනය කළොත් Freight industry එක 2027 වෙනකන් recovery එකක් නැහැ කියලා තමයි පුරෝකථනය කරන්නේ“, යනුවෙන් රොහාන් මාසකෝරාල මහතා පැවසීය.

    ඔහු පවසන පරිදි පසුගිය වසර කිහිපය සැලකීමේ දී එක්ස්පෝලංකා හොල්ඩිංග්ස් සමාගමේ ලාභ ක්‍රමයෙන් පහළ බසින තත්ත්වයක් නිරීක්ෂණය කළ හැකිවේ . පහත දැක්වෙන්නේ පසුගිය වසර 5ක සමාගමේ කාර්යසාධනය පිළිබඳ සංක්ෂිප්තයකි.

    • 2020 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා අලාභය රු. මිලියන 736 යි
    • 2021 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා ලාභය රු. බිලියන 14 යි
    • 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා ලාභය රු. බිලියන 72 යි
    • 2023 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා ලාභය රු. බිලියන 30 යි
    • 2023 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 සඳහා අලාභය රු. බිලියන 12 යි

    මෙම සංඛ්‍යා විශ්ලේෂණයේ දී සමාගම මේ වන විට පසුවන්නේ සතුටුදායක මට්ටමක නොවන බව පැහැදිලිය. එය එක්ස්පෝලංකා සමාගමට පමණක් නොව භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ නිරත ගෝලීය සමාගම් සියල්ලක්ම පාහේ මුහුණ දී ඇති තත්ත්වයකි.

    සමාගම විසින් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා අතිවිශේෂ මහා සභා රැස්වීමක් මේ වන විට කැඳවා ඇත. එය ලබන මාර්තු 27 දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්වේ. සමාගමේ තීරණය සම්බන්ධයෙන් කොටස්කරුවන්ගේ ප්‍රතිචාරය කෙබඳුදැයි එදිනට බලා ගත හැකි වනු ඇත.

    - සිසිර කන්නන්ගර විසිනි