එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටස් වෙළෙඳපොළේ ‘ලොකු අයියලා‘ අතර 12 වැනි තැනට

    November, 6, 2020

    වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි 12 වැනි තැනට පැමිණීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමත් වී තිබේ. ඊයේ (05) දිනයේ දී සමාගමේ කොටසක අවසන් ගනුදෙනු මිල රු. 24.90 ක් ලෙසින් සටහන් වීමත් සමඟින් රු. බිලියන 48.67 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කීමට එක්ස්පෝලංකා මේ වන විට සමත් වී ඇත. එය සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 1.88%ක ප්‍රමාණයකි.

    කොළඹ කොටස් වෙළෙඳපොළ විශාලතම සමාගම් ලැයිස්තුවේ පළමු තැන ලංකා දුම්කොළ සමාගම හිමිව ඇති අතර ඒ රු. බිලියන 179.97 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයට හිමිකම් කීමෙනි. දෙවන ස්ථානයේ රු. බිලියන 179.32 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී පසුවෙයි.

    ලැයිස්තුගත සමාගම් අතුරින් රු. බිලියන 100 ක් ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන්නේ ඉහත සමාගම් දෙක පමණි.

    ඊයේ (05) දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 2,616.20 ක් ලෙසින් සටහන් විය.