එමිරේට්ස් වෙතින් ක්‍රොඒශියාවට දෛනික ගුවන් සේවාවක්

    January, 19, 2017

    එමිරේට්ස් ගුවන් සමාගම සිය යුරෝපීය ගමනාන්ත ජාලය තව දුරටත් පුළුල් කරමින් ක්‍රොඒශියාවේ සැග්‍රෙබ් නගරයට දෛනික ගුවන් සේවාවක් ජූනි මස 1 දා සිට ක‍්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇත. බොයිං 777-300 ගුවන් යානයක් යොදා ක‍්‍රියාත්මක කරන මෙම සේවාව එම නගරයට ක‍්‍රියාත්මක වන ප‍්‍රථම පුළුල් බඳක් (wide-body) සහිත ගුවන් යානය මෙය වනු ඇත.

    ‘‘එමිරේට්ස් ගුවන් සමාගම ක්‍රොඒශියාවෙහි වාණිජමය සම්බන්ධතාවයක් 2003 වසර සිට පවත්වාගෙන තිබෙනවා. මෙවැනි මනස්කාන්ත ගමනාන්තයන් අපගේ ජාලයට එක් කිරීම පිළිබඳව අප සතුටට පත් වෙනවා’’ යැයි එමිරේට්ස් ගුවන් සමාගමේ විධායක උප සභාපති සහ ප‍්‍රධාන වාණිජ නිළධාරී තියරි ඇන්ටිනෝරි මහතා පැවසීය. ‘‘මෙමඟින් ඩුබායි සිට ක්‍රොඒශියාව අතර වෙළඳ සහ සංචාරක සම්බන්ධතා වර්ධනයට දායක වීමටත් මැදපෙරදිග සහ ආසියා - ශාන්තිකර කළාපයෙහි එමිරේට්ස් සම්බන්ධ කරන ගමනාන්ත 45 සිට එම රටට සංචාරකයින් ගෙන ඒමටත් අපට හැකි වනවා’’

    දකුණු කොරියාව, ජපානය, තායිවානය, සිංගප්පූරුව සහ ඕස්ටේ‍්‍රලියාව වැනි රට වල ජාතිකයින් අතර ක්‍රොඒශියාව ජනප‍්‍රිය ව්‍යාපාරික මෙන්ම සංචාරක ගමනාන්තයකි. ඩුබායි සිට එම රටට ක‍්‍රියාත්මක කරන ගුවන් සේවාව නිසා මෙම රට වල සිට ක්‍රොඒශියාවට ගමන් කිරීම ඉතා පහසු වනු ඇත.

    ව්‍යාපාරික ප‍්‍රජාවට මෙම ගුවන් සේවාව ක‍්‍රියාත්මක වීම සමඟ ගිනිකොන යුරෝපීය ප‍්‍රදේශයට ප‍්‍රවේශ වීම තවත් පහසු වනු ඇත. එමිරේට්ස් බොයිං 777 ගුවන් යානය මඟින් දිනකට ගුවන් භාණ්ඩ ටොන් 16ක් ප‍්‍රවාහනය කිරීමටද අවකාශය ලැබෙනු ඇත.

    ඩුබායි සිට සැග්‍රෙබ් නගරයට ක‍්‍රියාත්මක කිරීමට නියමිත EK129 ගුවන් සේවාව දිනපතා පැය 08.15 ට පිටත් වෙමින් පැය 12.20 ට සැග්‍රෙබ් නගරයට පැමිණෙනු ඇත. ආපසු පැමිණෙන EK130 ගුවන් සේවය දිනපතා සැග්‍රෙබ් නගරයෙන් පැය 15.35 ට පිටත් වෙමින් පැය 23.05ට ඩුබායි වෙත පැමිණෙනු ඇත.

    පන්ති තුනකින් සමන්විත බොයිං 777-300 යානයෙහි පළමු පන්තියේ ආසන 12ක්ද ව්‍යාපාරික පන්තියේ අසුන් 42ක්ද ඉකනොමි පන්තියේ ආසන 310ක්ද ඇත. එම යානයෙහි මගීන්ට නාලිකා 2500කින් සමන්විත එමිරේට්ස් සම්මානලාභී 'ice’ විනෝදාස්වාදක පද්ධතිය අත්විදීමට අවස්ථාවද උදා වනු ඇත.