එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය ස්ථාපනය කිරීමෙන් දේශීය රෙදිපිලි අවශ්‍යතාවෙන් 35%ක් සැපිරේ

    September, 21, 2023

    නැගෙනහිර පළාතේ එරාවුර් නගරය කේන්ද්‍ර කරගනිමින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ තිරසාර බව පිළිබඳ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් දේශීය රෙදි පිළි අවශ්‍යතාවෙන් 35%ක් සපුරාලීමට හැකි වනු ඇති බව ඒකබද්ධ ඇඟළුම් සංසදය පවසයි. වර්තමානයේදී මෙරට ඇඟළුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදිපිළිවලින් 90%කට අධික ප්‍රතිශතයක් ආනයනය කරන අතර මේ සඳහා අධික විදේශ විනිමයක් වැය වන බවද ඒකබද්ධ ඇඟලුම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. 2019 වසරේදී ශ්‍රී ලංකාව නිමි ඇඟලුම් අපනයනය සහ දේශීය පරිභෝජනය සඳහා මෙට්‍රික්ටොන් 250,000ක රෙදිපිළි ආනයනය කළ අතර මේ සඳහා ඩොලර් බිලියන 2.2ක් වැය කරන ලදි.

    2020 වසරේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණු එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තපුරයේ සියලු යටිතල පහසුකම් හි ඉදිකිරීම් මේවන විට නිම වී ඇති අතර J J Lanka සමාගම සිය කර්මාන්තාශාලාවේ ඉදිකිරීම් ආරම්භ කර ඇත. මෙම කර්මාන්ත පුරය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් බිලියන 1.5ක ආයෝජනයක් සිදු කර ඇති අතර අක්කර 225ක වපසරියකින් යුතු භූමි පෙදෙසෙහි සියලු යටිතල පහසුකම් වලට අදාළ ඉදිකිරීම් අවසන් කර තිබේ. මහාපරිමාණයේ කර්මාන්තශාලා පහක් සඳහා මෙහි පහසුකම් සලසා දී ඇති අතර නූල් නිෂ්පාදනය, රෙදිපිළි වීවීම, රෙදිපිළි ඩයි ගැන්වීම සහ රසායනික සේදීම යන අංශයන් හි කර්මාන්තශාලා සඳහා මෙහි පහසුකම් සලසා දී ඇත. දැනටමත් මහා පරිමාණයේ දේශීය රෙදිපිළි නිෂ්පාදන සමාගම් එරාවුර් කර්මාන්ත පුරයෙහි තම නිෂ්පාදනාගාර ආරම්භ කිරීම සඳහා ආයෝජන මණ්ඩලය සමග එකඟතාවයන්ට පැමිණ ඇත. සමාගම් 5 සිය නිෂ්පාදන කටයුතු මෙහි ආරම්භ කිරීමෙන් අනතුරුව දළ වශයෙන් සෘජු රැකියා 5000ක් පමණ නිර්මාණය වනු ඇතැයි ආයෝජන මණ්ඩලයේ ආයෝජන කලාපයන් භාර විධායක අධ්‍යක්ෂ එම්.කේඩී ලෝරන්ස් මහතා පැවසීය.

    එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය හරහා ඩොලර් මිලියන 300ක පමණ ආයෝජනයක් රජය අපේක්ෂා කරන අතර දැඩි සේවා වියුක්තියකින් බැටකන නැගෙනහිර පළාතේ සේවා නියුක්තිය සහ දරිද්‍රතාව සැලකිය යුතු මට්මකින් අවම කර ගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය. දැනට ශ්‍රී ලංකාව තුළ ඇඟළුම් අපනයන කර්මාන්තශාලා 300ක් පමණ ක්‍රියාත්මක වන නමුත් රෙදිපිළි, නූල් සහ ඇඟලුම් සඳහා අවශ්‍ය අනෙකුත් උපාංග නිෂ්පාදනය සඳහා ක්‍රියාත්මක වන කර්මාන්තශාලා සංඛ්‍යාව 10කට අඩු අගයක පවතී. මේ නිසා ඇඟළුම්  අපනයනය සඳහා අවශ්‍ය රෙදිපිළි සහ නූල් ඇතුළු සෙසු උපාංගයන් ගෙන් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුව ඇති අතර මේ සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් රටෙන් පිටතට ඇදී යයි.

    මේ පිළිබඳව අදහස් දක්වන ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පැවසුවේ එරාවුර් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය සඳහා තම සංගමයේ සාමජිකත්වයේ දැඩි අවධානය යොමු වී ඇති බවත් යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය යථාතත්වයට පැමිණි පසු දැනට පවතින ඇඟළුම් ඇනවුම් ගැටලුව නිරාකරණය වූ පසුව මෙම කර්මාන්තපුරය වෙත සක්‍රීයව ආයෝජනයන් හිමි වනු ඇති බවයි. “ කෝවිඩ් වසංගතය අවස්ථාවේදී නිෂ්පාදන භාණ්ඩ අපනයනයට මෙන්ම රෙදි පිළි ආනයනයටත් විශාල බාධාවන් ඇති වුනා. එමෙන්ම රටේ උග්‍ර විදේශ විනිමය අර්බුදයක් ඇති වූ අවස්ථාවේදීත් රෙදිපිළි ආනයනය නිසි පරිදි සිදු කර ගැනීමට බොහෝ ඇඟළුම් නිෂ්පාදකයින්ට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපගේ දේශීය රෙදිපිළි අවශ්‍යතාවෙන් සැලකියියුතු ප්‍රතිශතයක් අපට රට තුළම නිෂ්පාදනය කර ගත හැකි නම් අප මුහුණ දුන් එබඳු සමාජ ව්‍යසනයන් හමුවේ වූවද රටේ අපනයනයන් ස්ථාවරව පවත්වා ගනෙ යෑමට අපට හැකි වෙනවා. එම කරුණ පිළිබඳව අවධානය යොමු කිරීමේදී එරාවුර් ‌‌රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත පුරය අතිශය වැදගත් බවට කිසිදු විවාදයක් නැහැ. එමෙන්ම මෙම කර්මාන්ත පුරයේ පිහිටීම අනුව සූර්ය බලය, හා සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්තිය රෙදි පිළි නිෂ්පාදනයට යොදා ගැනීම සඳහා ඉහළ හැකියාවක් පවතිනවා” යනුවෙන් පැවසීය.