එස්.එල්.රත්නායක අනුස්මරණ සමස්ත ලංකා 17න් පහළ පාසල් බැඩ්මින්ටන් ශූරතාවලිය

    April, 27, 2023

    මියුසියස් - වත්තල ලයිසියම් සුපිරි වටයේ ශූරතා දිනති

    එස්.එල්.රත්නායක අනුස්මරණ කුසලාන සමස්ත ලංකා අවුරුදු 17න් පහළ පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේ සුපර් ‘ඒ‘ අංශයේ බාලිකා ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගැනීමට මියුසියස් විදුහල් පිල සමත් විය. පසුගියදා බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මේ ශූරතාවලියේ සුපර් ‘ඒ‘ අංශයේ බාලක ශූරතාව දිනා ගනු ලැබුවේ වත්තල ලයිසියම් විදුහල් පිල විසිනි.

    බාලිකා තරග අංශයේ අවසන් මහා තරගයේදී මාතර  සුජාතා විදුහල් පිල තරග වට 3-1කින් පරාජය කිරීමට මියුසියස් විදුහල් පිල සමත් වූ අතර, බාලික අවසන් මහා තරගයේදී කොළඹ නාලන්දා විදුහල් පිල තරග වට 3-0කින් පරාජය කිරීමට වත්තල ලයිසියම් විදුහල් පිල සමත් විය.

    ආනන්ද, බණ්ඩාරවෙල මැදි විදුහල, ගොතටුව ඒෂියන් ග්‍රැමර් පාසල,  මහනුවර අල් සිරාජ් විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය පිළිවෙළින් ‘ඒ‘, ‘බී‘, ‘සී‘, ‘ඩී‘ සහ ‘ඊ‘ කාණ්ඩයේ බාලක ශූරතා දිනාගත්තේය. කොළඹ විශාකා විදුහල් පිල බාලිකා අංශයේ ‘ඒ‘ කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා, වේල්ස් කුමරි, මහනුවර විහාරමහා දේවි, ගම්පහ සුමේධ විදුහල පිළිවෙළින් ‘බී‘,‘සී‘,‘ඩී‘ සහ ‘ඊ‘ කාණ්ඩයේ ශුරතා දිනාගත්හ.

    ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සහ ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මග පෙන්වීම යටතේ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල සංවිධාන කළ මේ ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සහ ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීහු ද මේ අවස්ථාවට එක් වූහ.