ඔඩෙල් ගන්න අශෝක් පතිරගේට හැටන් නැෂනල් බැංකුව සල්ලි දුන්නේ ඇයි ?

    September, 15, 2014

    ඔඩෙල් පී.එල්.සී. සමාගමේ සියයට 44.5 ක කොටස් ඔටාරා ප්‍රමුඛ ගුණවර්ධන සහෝදරයින්ගෙන් රුපියල් බිලියන 2.7 කට මිලදී ගැනීමට ශූර ව්‍යාපාරික අශෝක් පතිරගේ මහතා නායකත්වය දෙන සොෆ්ට්ලොජික් සමූහයට මූල්‍ය පහසුකම් ලබාදුන්නේ හැටන් නැෂනල් බැංකුව විසිනි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් හැටන් නැෂනල් බැංකුව පවසා තිබෙන්නේ දේශීය සමාගම් වලට සහ ව්‍යවසායකයින්ට සහයෝගය දැක්වීමේ බැංකුවේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගත් බවයි.

    මෙම ගනුදෙනුව සඳහා හැටන් නැෂනල් බැංකුව සහ එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ජොනතන් අලස් මහතා දැක්වූ සහයෝගය පිළිබඳව සොෆ්ට්ලොජික් සභාපති අශෝක් පතිරගේ මහතා ස්තූතිය පුදකර ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් අශෝක් පතිරගේ මහතා පවසා තිබෙන්නේ මෙම ගනුදෙනුවට සම්බන්ධ වෙමින් හැටන් නැෂනල් බැංකුව පුළුල් නිවැරදි පියවරක් ගෙන තිබෙන බවයි. ගනුදෙනුව නිසා සොෆ්ට්ලොජික් සමූහය තව තවත් වර්ධනය වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළකර ඇත.

    මෙම ගනුදෙනුව පිළිබඳව අදහස් දක්වමින් හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පවසා තිබෙන්නේ මේ තුළින් බැංකුව සහ සොෆ්ට්ලොජික් සමූහය අතර තිබෙන දැඩි සම්බන්ධතාවය පිළිඹිබු කර තිබෙන බවයි.