ඔරකල් ක්ලවුඩ් සේවාව සමගින් මෙරට සමාගම් සිය කාර්යක්ෂමතාව, සේවා ඒකාබද්ධතාව සහ නවෝත්පාදනය වර්ධනය කර ගනී

    August, 18, 2017

    පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මෙරට ප්‍රමුඛත ම සමාගම් දෙකක් සිය ඩිජිටල් ගමන්මග වේගවත් කිරීම සඳහා ඔරකල් ක්ලවුඩ් යෙදවුම දායකවන ආකාරය පිළිබඳ දැනුම්වත් කළේය. එටිසලාට් ශ්‍රී ලංකා, වර්චුසා සහ MAS සමාගම් එම සමාගම් ත්‍රිත්වයයි.

    ඔරකල් ක්ලවුඩ් සේවාව හරහා සමාගම්වල කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමටත්, පිරිවැය අවම කර ගැනීමටත්, තොරතුරු තාක්ෂණ සංකීර්ණත්වය අවමකර ගැනීමටත් හැකිවන ආකාරය පිළිබඳ මෙහිදී රැස්ව සිටි පිරිසට මනා අවබෝධයක් හිමි විය. SaaS, PaaS සහ IaaS වැනි ලොව අංක එකේ සේවා සම්පාදනය කරමින් අසමසම Cloud at Customer සේවාව හරහා තමන්ගේම දත්ත මධ්‍යස්ථානයක් තුළ ඔරකල් ක්ලවුඩ් සේවාව භාවිත කිරීමේ අවස්ථාව ඔරකල් සමාගම ලබා දී ඇත.

    "ක්ලවුඩ් සේවාව සමගින් නවෝත්පාදනය සහ සීමා මායිම් පුළුල් කිරීම සඳහා මෙරට සමාගම් දක්වන දායකත්වය පිළිබඳ අප ඉතා සතුටු වනවා. පාරිභෝගික අත්දැකීම්වල සිට ආයතනික සම්පත් සැලසුම්කරණය, මානව ප්‍රාග්ධන කළමනාකරණය දක්වා සියලු අංශ ඩිජිටල්කරණයට සහ නවීකරණයට ලක් කිරීම සඳහා මෙම සමාගම් ඔරකල් ක්ලවුඩ් යෙදවුම භාවිතා කරනවා" යනුවෙන් ඔරකල් SAGE කලාපීය අධ්‍යක්ෂ චන්දිත සමරනායක මහතා සඳහන් කළේය.