ඔසප් සනීපාරක්ෂාව සාකච්ඡාවකට සීමා නොවී ප්‍රායෝගික විය යුතුයි

    May, 31, 2023

    නිරන්තරයෙන් දිරිය කතුන් ඇගයෙන සෞභාග්‍යා පදනම විසින් ජාත්‍යන්තර ඔසප් දිනය මූල් කර ගනිමින් ඔසප් සනීපාරක්ෂාවෙහි ඇති වැදගත්කම සහ ඒ සඳහා දැනට පවතින ගැටලු මෙන්ම විසඳුම් පිළිබඳ විද්වත් මඩුල්ලක් හරහා සාකච්ඡාවට ලක් කරමින් “ඇය වෙනුවෙන් අපි” යනුවෙන් කාලීන වැදගත්කමකින් යුත්  සමාජය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොළඹ සිටි සෙන්ටර්හිදී ඉකුත් මැයි 28 වෙනි ඉරු දින නොමිලේ පවත්වනු ලැබිණි. සෞභාග්‍යා පදනමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා හිරන්ති කරුණාතිලක මහත්මිය විසින් එහි අධ්‍යක්ෂිකා දුලාරි ප්‍රනාන්දු මහත්මිය සහ තවත් සාමාජිකාවන් කිහිප දෙනෙකු සමග වසර ගණනක් පුරා දිවයිනේ උතුරු පළාතේ සහ වෙනත් දිස්ත්‍රික්ක කිහිපයක කාන්තාවන්ට සහ පාසල්වලට  නොමිලේ සනීපාරක්ෂක තුවා බෙදා දෙමින්, එම කාන්තාවන් සමඟ සමීපව කටයුතු කරමින්, මෙම සමාජයීය ගැටලුව පිළිබඳ  ගැඹුරු අධ්‍යනයක් කිරීමෙන් පසු මෙවැනි විද්වත් සාකච්ඡාවක අවශ්‍යතාව සළකා බලා  “ඇය වෙනුවෙන් අපි” සංකල්පය නිර්මාණය කර ඇත.
    ඔසප් සමය නිසි ලෙස කළමණාකරණය කර ගැනීම මෙන්ම ඔසප් සනීපාරක්ෂාවේ වැදගත්කම පිළිබඳ ආන්තික ප්‍රජාවන් දැනුම්වත් කිරීම සඳහා මෙවැනි විද්වත් සාකච්ඡාවන් කාලීනව වැදගත් වන බැවින් සෞභාග්‍යා පදනම ඉදිරියේදී එය දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිතය. එහි ප්‍රථම අදියර වශයෙන් කොළඹ සිටිසෙන්ටර්හිදී පැවති විද්වත් සාකච්ඡාව සඳහා සෞභාග්‍යා පදනමේ ඇරයුමින් සහභාගී වූ විද්වත් මඩුල්ල ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ වෛද්‍ය අශාන්ති බලපිටිය මහත්මිය, ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රංගනශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය, මොරටුව සරසවියේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්්‍ය තෙසාරා ජයවර්ධන මහත්මිය
    සහ “ඇය වෙනුවෙන් අපි” සෞභාග්‍යා පදනමේ නවතම වැඩසටහනේ සන්නාම තානාපතිනි ප්‍රවීණ කලාකාරිනී  උමාලි තිලකරත්න මහත්මිය, ප්‍රවීණ දමිළ මාධ්‍යවේදිනී ප්‍රියදර්ශනී සිවරාජා මහත්මිය සහ සෞභාග්‍යා පදනම වෙනුවෙන් එහි ප්‍රධානී හිරන්ති කරුණාතිලක මහත්මිය සහභාගී වූහ. එසේම මෙම සාකච්ඡාව සඳහා මාධ්‍යවේදීන්, වෛද්‍ය වෘත්කියන්, පර්යේෂකයන්, සරසවි සිසුන්, එල්ජීබීටී සමාජ ක්‍රියාකාරිකයන් ආදී විවිධ සමාජයන් නියෝජනය කරන පිරිස් සහභාගී වූහ.  ප්‍රවීණ නිවේදිකා ප්‍රියන්තනී ගමගේ මහත්මිය විසින් වැඩසටහන මෙහෙයවනු ලැබිණි.

    මේ පිළිබඳ සෞභාග්‍යා පදනමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා හිරන්ති කරුණාතිලක මහත්මිය සිය අදහස් පළ කළේ මෙලෙසිනි. “ජාත්‍යන්තර ඔසප් දිනය මූලික කර ගනිමින් පැවති “ඇය වෙනුවෙන් අපි” විද්වත් සාකච්ඡාමය වැඩසටහනේදී මූලිකවම ඔසප් සමයේදී කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට  ඇති අභියෝග වන ඔසප්වීම පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමට ඇති බිය, සමාජයීය කුළෑටි බව සහ එය බිඳ දැමිය හැකි ක්‍රමවේද ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කළා. එසේම ප්‍රමාණවත් ජල පහසුකම් නොමැතිවීම සහ පහසුකම් සහිත වැසිකිළි හිඟතාව, ඒ සඳහා ඇති ආරක්ෂාව වැනි කරුණු සාකච්ඡාවට ලක්වුණා. ඔසප් සමයේ පැතිර යන මිත්‍යා මත සහ ඒවායෙහි විද්‍යාත්මක සත්‍ය අසත්‍යතාවන් මොනවාද, ඔසප්වීම හේතුවෙන් ඇතැම් කාන්තාවන්ට හට ගන්නා මානසික ආතතිය, ඒවා කළමණාකරණය කරගන්නා ආකාරය ඊට සුදුසු ව්‍යායාම වැනි වටිනා කරුණු ගණනාවක් මෙහිදී කතා බහට ලක් වුණා. මෙම සාකච්ඡාව දැනුම්වත් කිරීමකින් පමණක් නොනැවතී ප්‍රායෝගික වැඩමුළු හරහා ප්‍රජාවට විසඳුම් ලබා දීමට උර දීමයි සෞභාග්‍ය පදනමේ ඒකායන අරමුණ.”

    එසේම ඔසප් සමයේදී කාන්තාවන් අපිරිසිදු එනම් කිලි සහිත යයි සළකන රටවල් බොහොමයක් පවතින අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය සහ බොලිවියාව ඒ අතරින් කිහිපයකි. ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් කාලය තුළ ස්නානය කළ නොහැකි බව හෝ ඔවුන් වඳ බවට පත් වනු ඇතැයි කියනු ලැබේ. ලොව පුරා මිලියන 500 කට අධික ගැහැණු ළමයින් සහ කාන්තාවන්ට සනීපාරක්ෂක ආරක්ෂාව සඳහා කිසිදු ප්‍රවේශයක් නොමැත.
    වැඩිදුරටත් අදහස් පළ කළ හිරන්ති කරුණාතිලක මහත්මිය පවසා සිටියේ “ඔසප් සමය කළමණාකරණය කර ගැනීමට  සමට හානි නොවන අයුරින් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා වර්ග, ඒ සඳහා ලොව පවතින නවීනතම විකල්ප මොනවද, ප්‍රමිතියෙන් උසස් සනීපාරක්ෂක තුවා මිලට ගැනීමට ඇති අපහසුතා, ඔසප් දරිද්‍රතාවට අදාල ගැටලු ගැනත් මෙහිදී සාකච්ඡාවට ලක් කළා. ඔසප් සමය තුළදී කාන්තාවන් ලජ්ජාවට පත්වන ආකාරයෙන් සහ ප්‍රතික්ෂේප වන ආකාරයෙන් කටයුතු කිරීම අපේ රටේ තවමත් ඇතැම් ප්‍රදේශවල දකින්න පුළුවන්. අප ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් කොන්කිරීම් නොසළකා දිවයින පුරා ප්‍රායෝගික වැඩමුළු පවත්වමින් ඔසප් වීම ගැන තිබෙන සමාජයීය කුලෑටි බව බිඳ දමන්න හැකිතාක් උරදීමට සෞභාග්‍යා පදනම ඉදිරියේදී කටයුතු කරනවා” යනුවෙනි.
    යූඑන්එෆ්පීඒ වාර්තාවන්ට අනුව ඔසප්වීම පිළිබඳ විවෘතව කතා කිරීමට ඇති සමාජීය කුලෑටි භාවය (Taboo) ලොව පුරා සිටින සියලුම ගැහැණු ළමයින්ට සහ කාන්තාවන්ට එක්වරක් හෝ බලපෑමක් ඇතිකර ඇති සමාජීය ගැටලුවකි.  ඔසප් සමය පිළිබඳ පවතින අනවශ්‍ය සමාජයීය ලජ්ජාව සහ මිත්‍යාමතවාදයන් හේතුවෙන්  සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය රැක ගැනීම උදෙසා කාන්තාවන් සතු මූලික අයිතිවාසිකම් කඩවී ඇත.මානව හිමිකම් යනු සෑම මනුෂ්‍යයෙකුටම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කොට සැළකීමකින් තොරව මානව ගරුත්වය මත පදනම්ව හිමිවන අයිතිවාසිකම්ය. ඒ නිසාම ස්වභාවිකව සිදුවන ශාරීරික ක්‍රියාවලියක් වන ඔසප් වීම සහජයෙන්ම මානව ගෞරවය හා බද්ධව ඇත. කාන්තාවන්ට ප්‍රමාණවත් ජල පහසුකම් සහ ඔවුන්ගේ ආර්තව සනීපාරක්ෂාව කළමනාකරණය කිරීමට උචිත ආරක්ෂිත සහ ඵලදායී ක්‍රම වෙත ප්‍රවේශ විය නොහැකි විට ඔවුනට සිය ඔසප් සමය ගෞරවාන්විතව කළමනාකරණය කිරීමට කිසිසේත් නොහැකි බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ඔසප් වීම සම්බන්ධයෙන් විවිධ රටවල සහ ප්‍රජාවන් තුළ පැතිර පවතින මිත්‍යා මතයන් දෙස බැලූ වීට එම ප්‍රජාවන් තුළ කාන්තාවට හිමිව ඇති සමාජයීය ගෞරවය සහ සමාජයීය දැක්ම කෙසේද යන්න හඳුනා ගත හැකිය. නිදසුනක් වශයෙන්  ඔසප් වූ කාන්තාවන් හට ඉන්දියාවේ ඇතැම් ආගමික සිද්ධස්ථානවලට ඇතුළුවීම පරම්පරා ගණනාවක් මුළුල්ලේ පනවා තිබූ තහනම 2018 වසරේ සැප්තැම්බර් මස  අවලංගු කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව හේතුවෙන් ඉන්දීය සමාජය තුළ ස්ත්‍රී පුරුෂ සමජභාවය පදනම්කරගනිමින් එතෙක් පැවතගෙන ආ සමාජයීය කොන්කිරීමක් පුපුරුවා හැරි අවස්ථාවක් ලෙස දැක්විය හැකිය (Source SCA Group survey, 2017 &  Think, 2018)