ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් ණය ආධාරයෙන් පානීය ජල ව්‍යාපෘති දෙකක්

    March, 9, 2018

    කිරම කටුවන ජලසම්පාදන ව්‍යාපෘතිය සහ ඔරුගොඩවත්ත අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ප්‍රධාන ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ප්‍රමුඛතාවය සහ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමසඳහා දේශීය සහ විදේශීය බැංකු මගින් මූල්‍ය පහසුකම් ලබාගැනිමට රජයට හැකිව තිබේ.

    ඒ අනුව, ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව (Unicredit Bank of Austria) ඉහත ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිම සඳහා යුරෝ මිලියන 61 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 11,285 ක්) ණය ආධාර ලබාදීමට එකඟ වී ඇත.

    කිරම කටුවන ජලසම්පාදන ව්‍යාපෘතිය යටතේ කිරම සහ කටුවන අර්ධ නාගරික ප්‍රදේශ ඇතුලුව කටුවන සහ වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ජීවත්වන 31,000 කගේ පමණ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා දිනකට ජලය ඝන මීටර් 3500 ක් පිරිපහදු කල හැකි ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට සහ අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සැපයීමට නියමිතය.

    මේ සඳහා ඔස්ට්‍රියානු රජය යුනික්‍රෙඩිට් බැංකුව මගින් යුරෝ මිලියන 10.48 ක පොලී රහිත සහනදායී ණය මුදලක් ලබා දෙනු ලබයි ඔරුගොඩවත්ත අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමිව ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම යටතේ ඔරුගොඩවත්ත අඹතලේ මාර්ගයෙහි අතුරා ඇති වසර 100 කට වඩා පැරණි ප්‍රධාන ජල නල පද්ධතිය, එම මාර්ග කොටසෙහි සිදුකරමින් පවතින සංවර්ධන කටයුතු වලට සමගාමීව සේවා පථයකට මාරු කිරීම සිදුවේ.

    ව්‍යාපෘතියේ 85% වියදම පියවා ගැනීම සඳහා ඔස්ට්‍රියානු යුනික්‍රෙඩිට් බැංකුව යුරෝ මිලියන 50.6 ක අපනයන ණය පහසුකමක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ලබාදෙන අතර ඉතිරි 15% ක මුදල මහජන බැංකුව මගින් (දළ වශයෙන් රුපියල් මිලියන 1410 ක්) ලබාදෙයි.

    ඉහත ණය ගිවිසුම් 03 අත්සන් කිරීම මුදල් හා ජනමාධ්‍යඅමාත්‍යාංශයේදී, නාගරික සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහභාගීත්වයෙන් අද දින පැවැත්විණි.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ.ඒ.අන්සාර් මහතා, ඔස්ට්‍රේලියානු යුනි ක්‍රෙඩිට් බැංකුවේ නියෝජිත රීඩ් රීන්හාර්ඩ් මහතා සහ මහජන බැංකුවේ ආයතනික බැංකු අංශයේ ප්‍රධානී අරුණි ගුණතිලක මිය ද අදාළ පාර්ශව නියෝජනය කරමින් මෙහිදී අත්සන් තැබූහ.