ඕලන්ද සංචාරකයන් වැඩි කරන්න උපායමාර්ගික වෑයමක්

    January, 22, 2019

    ශ්‍රී ලංකාව සඳහා ප්‍රධාන සංචාරක ප්‍රභව දහයෙන් එකක් වන නෙදර්ලන්තයේ සිට සංචාරක පැමිණීම්වල ස්ථාවර වර්ධනයක් මෑත වසරවල සිට දක්නට ලැබිණි. පසුගිය වසර තුළ, දෙසැම්බර් වන විට එම වසර සඳහා සංචාරක පැමිණීම්වල එකතුව 57000ක් විය. මෙම ඕලන්ද සංචාරකයන් මෙරටට පැමිණීමේ වර්ධනය වන ප්‍රවණතාවයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය උපායමාර්ගික වෑයමක් ලෙස Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනයේ මූලික තැනක් ගැනීමට කටයුතු කර ඇත .

    ජනවාරි 9 වැනිදා සිට 13 තෙක් යුට්‍රෙච් නගරයේ පැවැති Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනය ලොව පුරා සංචාරක ආයතන, සංස්කෘතික සංගම් හා රජයන් නියෝජනය කරනු ලබන ප්‍රවර්ධන කාර්යාංශ අතර හමුවීමේ ස්ථානයක් ලෙස සලකනු ලැබේ. එමෙන්ම මෙම ප්‍රදර්ශනය ඕලන්ද වෙළඳපොළ සඳහා විශාලතම චාරිකා හා සංචාරක ප්‍රදර්ශනය ලෙසද සලකනු ලැබේ .

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය මෙම ප්‍රදර්ශනය සඳහා දශකයකට අධික කාලයක් තිස්සේ සහභාගි වූ අතර නෙදර්ලන්තයේ සිට සංචාරකයන් පැමිණීම වර්ධනය වීම කෙරෙහි යම් දුරකට බලපාන ලද්දේ මෙම Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනය වැනි උත්සවවලදී සිදු කරනු ලබන ගමනාන්ත සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්ය. 1970 ආරම්භ කරන ලද සංචාරක ප්‍රදර්ශනයේ 49 වැනි වාරය වන්නේ මෙයයි.

    ශ්‍රී ලංකා මණ්ඩපය උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ සම්භාවනීය අමුත්තන් පිරිසක් හමුවේ, නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති තැන්පත් ඒ. එම්. ජේ. සාදික් මහතා විසිනි. විවිධ කර්මාන්ත නියෝජනය කරමින් නියෝජිතයන් 13 දෙනෙකුද ප්‍රදර්ශනයට සහභාගි වූහ. උත්සවයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ සාරවත් සංස්කෘතිය හා විවිධත්වය විදහා දක්වමින් ප්‍රදර්ශනට අලංකෘත බවක් එක් කරන ලදී. ප්‍රදර්ශනයට අමතරව සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන් අතර අන්තර් ව්‍යාපාර සැසිද පවත්වන ලද අතර එමඟින් එමඟින් දෙරට අතර සංචාරක අවස්ථාවන් වර්ධනය කරගැනීමට සහ ව්‍යාපාරික හවුල්කාරිත්වයන් පුළුල් කරගැනීමටද අවස්ථාව ලැබිනි.

    ඕලන්ද සංචාරකයන්ගේ පැමිණීමේ තොරතුරු ගැන සාරාංශයක්

    ඕලන්ද සංචාරකයන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සඳහා වර්ධනය වන ප්‍රභව වෙළඳපලක් වන අතර පැමිණීම් වාර්ෂික පදනමෙන් වර්ධනය වෙමින් පවතී .එය දළ දේශිය නිෂ්පාදනය ඉතා අධික රටක් වන අතර එරට වැසියන් සංචාරය හා විනෝදාස්වාදය සඳහා විශාල වශයෙන් වියදම් කිරීමද සිදුවේ.ඕලන්ද සංචාරකයකු සාමාන්‍ය රැඳෙන දින ගණන රැයවල් 9.9ක් වන අතර (SLTDA වාර්ෂික වාර්තාව 2016) සංචාරකයෙකුගේ දෛනික වියදම (ගුවන් ගමන් ගාස්තුවෙන් තොරව හා පැකේජ නොවන) ඇමරිකානු ඩොලර් 147.39 ක් හා (පැකේජ සඳහා) ඇමරිකානු ඩොලර් 207.43 ක් වේ (ශ්‍රී ලංකාවෙන් පිටත් වන විදේශීය සංචාරකයන් පිළිබඳ සමීක්ෂණය 2016) . ජූලි මස වන විට ශ්‍රී ලංකාවට නෙදර්ලන්තයෙන් පැමිණීම්වල 11.3% ක සමුච්චිත වර්ධනයක් දක්නට ලැබිණි.

    Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනය

    2018 වසරේදී Vakantiebeurs ප්‍රදර්ශනය, ප්‍රදර්ශකයන් 1100ක් ආකර්ෂණය කරගන්නා ලද අතර සහභාගි වූ මුළු අමුත්තන් ගණන 105,369 ක් වූ අතර ඉන් 14, 575ක් කර්මාන්තයේ නියුතු වෘත්තීයවේදීන් වේ.

    Vakantiebeurs 2017 ප්‍රදර්ශනයේදී නෙදර්ලන්තයේ පැවැත්වෙන විශාලතම සංචාරක උත්සවය සඳහා නිවාඩු ගතකරන්නන් 108,779 ක් ආකර්ෂණය විය. එම අමුත්තන්ගෙන් 80% ක්, සහභාගි වී සිටි සංචාරක සංවිධානයන් විසින් කරන ලද පිරිනැමීම් “ඉතා යහපත්” ලෙස ‍ලෙස ශ්‍රේණිගත කරන ලද අතර එය සාමාන්‍ය ලකුණු 7.3 කට සමාන වේ.

    කර්මාන්තයේ නියෝජිතයන්

    කර්මාන්තයේ නියෝජිතයන්ගේ හරස්කඩක් ලෙස සැලකිය හැකි පිරිසක් මෙම මහා වෙළඳ ප්‍රදර්ශනයට සහභාගි වූහ. ඔවුන් අතර එයිට්කන් ස්පෙන්ස්, විටෝල්ස් ට්‍රැවල්ස්, ඉකෝ ටීම්, යූලංකා ට්‍රැවල්ස්, හෝක් ට්‍රැවල්ස්, සන්වේ හොලිඩේස්, කැම්ලෝ ලංකා ටුවර්ස්, හොටෙල් ලංකා සුපර්කොරල්ස්, ආයුබෝවන් ට්‍රැවල්ස්, සෙzනිත් එක්ස්පෙඩිෂන්ස්, ඕක් රේ රෙස්ටෝරන්ට්ස්, බ්ලූ ලංකා ටුවර්ස් හා ඇන්ඩෘ ද ට්‍රැවල් කම්පැනි වේ.