ඖෂධ කර්මාන්තකරුවන් ආනයනික ඖෂධ 13ක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී

    October, 17, 2018

    ඖෂධ කර්මාන්තයේ නියැලී සිටින සමාගම් විසින් ආනයනික ඖෂධ 13ක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා බව ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණය වීම සමග ඖෂධ නිෂ්පාදන සඳහා සාධාරණ මිල පාලනයක් සිදු කරන මෙන් මෙම ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් විසින් ශ‍්‍රී ලංකා රජයට ඉල්ලීම් ඉදිරිපත් කළද රජය මෙම ගැටලූවට සාධාරණ විසඳුමක් ලබා නොදෙන තත්වයක් තුළ මෙම තීරණයට ඖෂධ කර්මාන්තකරුවන් එළැඹි බව ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමය මෙම මාධ්‍ය නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත. මෙරට භාවිතයට ගන්නා ඖෂධවලින් 85‍% ක්ම ආනයනය කරන බැවින් සෞඛ්‍ය අමාත්‍යංශය හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විනිමය අනුපාතිකයේ වෙනස්කම සැලකිල්ලට ගනිමින් ඖෂධ මිල ඊට අනුරූපීව වෙනස්කිරීම පැහැර හැර ඇති බව ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමය මෙම මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කර සිටී.

    ඖෂධ කර්මාන්තකරුවන් විසින් එළැඹි මෙම තීරණයට අනුව පහත දැක්වෙන ඖෂධ ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කිරීම සිදු නොකරනු ඇත.

    වසර දෙකක සිට පවතින ඖෂධ මිල පාලනය සහ උපරිම මිල හේතුවෙන් මෙම ලැයිස්තුවේ දැක්වෙන ඇතැම් ඖෂධ 2016 සිට ආනයනය කිරීම සහ වෙළෙඳපොළ තුළ අලෙවි කිරීම ඖෂධ කර්මාන්තකරුවන් විසින් නතර කර ඇත.

    අත්‍යවශ්‍ය ඖෂධ වර්ගයන් මෙලෙස ආනයනය සහ අලෙවියෙන් බැහැර වීම හේතුවෙන් ඖෂධ නිෂ්පාදන සමාගම්, රෝගීන්, සේවා සපයන්නන්, ඔසු සැල් ඇතුළු පාර්ශව ගණනාවක් අපහසුතාවට පත් වන බැවින් මේ සෑම පාර්ශවයකටම ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමය කණගාටුව පළ කරයි. ඖෂධ කර්මාන්තකරුවන් විසින් ගනු ලැබූ මෙම තීරණයට අනුව විශිෂ්ට ඖෂධ චිකිත්සා ප‍්‍රතිකාර ලබා ගනිමින් සුවපත් වීමට රෝගීන්ට තිබූ අවස්ථාව ගිලිහී යෑම මෙහි වඩාත් අනර්ථකාරී තත්වය ලෙස හැඳින්විය හැකි බව ශ‍්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමය විසින් පෙන්වා දෙනු ලබයි.