කටුනායක ගුවන්තොටුපළේ පළමු පර්යන්තයෙන් පිටත්වන මගීන්ට ඩිජිටල් පිවිසුමක්

    May, 3, 2022

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු පර්යන්තයෙන් පිටත්වන මගීන් සඳහා ඩිජිටල් පිවිසුමක් ක්‍රියාත්මක කිරීම
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා බහුවිධ වැඩිදියුණු කිරීම් කිහිපයක් සිදු කිරීමට ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සැලසුම් කර ඇත.
    ඒ යටතේ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ "එක් හැඳුනුම්පතක්" යන සංකල්පය මත පදනම්ව පළමු පර්යන්තය හරහා පිටත්ව යන මගීන් සඳහා ඩිජිටල් පිවිසුමක් හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.
    ඒ අනුව, පිටත්වීමේ පර්යන්තයට ඇතුළු වන ස්ථානයේ විද්‍යුත් දොරටු/මුහුණු සුපරික්ෂණ යන්ත්‍ර ස්ථාපනය කර මගී අනන්‍යතාව සඳහා වලංගු විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් සන්තකයේ පවතින බව සනාථ කර ගැනීම මඟින් පහසුවෙන් මගීන්ට පරීක්ෂා කිරීමේ කටයුතු නිම කිරීමට හැකියාව ලැබෙනු ඇත.
    සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව පරිදි ඒ සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.