කබ්රාල් කිව්වේ කුමක්ද?

    March, 9, 2022

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර හමුවක් අද (09) දිනයේ දී පැවැත්විණි.

    පැය 1 1/2 කට ආසන්න කාලයක් පැවති මෙම හමුවේ දී සාකච්ඡා වූයේ කුමක් ද?

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ සඳහන් කරයි.

    අපි මහ බැංකු අධිපතිවරයා මුණ ගැසුණේ ඇයි?

    සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම නියෝජනය කරමින් කබීර් හෂීම් මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා සහ මා අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මුණ ගැසී ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව අවධාරණය කළා.

    වගකිව යුතු විපක්ෂයක් ලෙස රට පිළිබඳව අපිට වගකීමක් තිබෙන නිසා ආර්ථිකය හසුරුවන මහ බැංකු අධිපතිවරයාට සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට අපගේ යෝජනා ඉදිරිපත් කළේ රට වෙනුවෙන්. මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව අපගේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නම් එයින් මේ අර්බුදය විසඳා ගැනීමට මග පෑදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි මෙහිදී පෙන්වා දුන්නේ මෙම ආර්ථික අර්බුදය කෙටි කාලීන ද්‍රවශීලතා ගැටලුවක් යැයි මහ බැංකුව සිතා සිටියත් මෙය එසේ නොවන බවයි. පවතින තත්ත්වය අනුව රට බංකොලොත් වීමේ අවධානමක් දක්වා මෙම ආර්ථික අර්බුදය දිග් ගැස්සී තිබෙන බවත් මේ නිසා මෙරට ණයවල තිරසාරත්වය විශ්ලේෂණය කර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමුකළ යුතු බවත් අපි මෙහිදී අවධාරණය කළා.

    කෙසේවෙතත්, මූල්‍ය අරමුදලට යෑමට මහ බැංකුව උනන්දුවක් දක්වන බවක් මෙහිදී පෙනුනේ නෑ. හදිසි ණය තිරසාරත්ව විශ්ලේෂණයක් සහ සැලසුමක් සිදුකර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අපි දැඩිව අවධාරණය කළා. එසේම,⁣ මෙරට ආහාර උද්ධමනය 40% ක් දක්වා වැඩිවී තිබෙන බවත් එය ජනතාවට දරාගැනීමට නොහැකි නිසා එය වහාම පහළ දැමීමට පියවර ගත යුතු බවත් මා සඳහන් කළා.