කලාපීය වැවිලි සමාගම් වතුකරයේ පෝෂණය හා ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් නව යෝජනා ඉදිරිපත් කරයි

    March, 6, 2024

    ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන කලාපීය වැවිලි සමාගම් (RPCs) 21  විසින් ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයෙන් 70%ක කොටසක් පාලනය කරනු ලබන අතර ඉතිරි 30% පාලනය කරනු ලබන්නේ කුඩා තේ වතු හිමියන් විසින්ය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප‍්‍රජාවිද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණවල දැක්වෙන පරිදි පසුගිය වසර 30 තුළ වැවිලි කර්මාන්තයේ පෝෂණය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. පසුගිය කාලය තුළ කොවිඞ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ග‍්‍රාමීය සහ නාගරික ප‍්‍රදේශවල දක්නට ලැබෙන ආකාරයටම මන්දපෝෂණ තත්වය ඉහළ ගොස් ඇත.

    කෙසේවෙතත්, RPC වල ජීවත් වන පුද්ගලයින්ගෙන් 80% ක් වතුකරයෙන් පිටත වැඩ කරන අතර ඔවුන්ගේ සෞඛ්‍ය සහ සුභසාධනය පිළිබඳ පාලනයක් RPC වලට නොමැති බව මෙහිදී සැලකිල්ලට ගැනීම වැදගත්ය. එසේ වුවද, දරුවන්ගේ බර මාසිකව අධීක්ෂණය කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම සහ වෙනත් සුබසාධන ප‍්‍රතිලාභ ලබා දීමෙන් කළමනාකාරිත්වය ඔවුන්ට සහාය වේ. මන්දපෝෂණය ඇති වීමට විවිධ හේතු බලපානු ලබයි. අධික මත්පැන් සහ දුම්කොළ භාවිතය, ගෘහස්ථ හිංසනය, මුදල් කළමනාකරණය දුර්වල මට්ටමක පැවතීම සහ සුව සේවා වෙත ප‍්‍රවේශ වීමේදී ඇති දුෂ්කරතා දරුවන්ගේ පෝෂණයට බෙහෙවින් බලපාන කරුණු කිහිපයකි. එබැවින්, මන්දපෝෂණය ඇති වීමට එක් සාධකයක් පමණක් හඳුනා ගැනීමෙන් මෙම ගැටලූවේ සැබෑ තත්වය හරිහැටි පිළිබිඹු වන්නේ නැත.

    මීට අමතරව කලාපීය වැවිලි සමාගම්වලට අයත් සියලූම වතුවල අදාල කම්කරු නීතිරීතිවලට අනුව ලැබිය යුතු ප‍්‍රසූත නිවාඩු, ගර්භනී මව්වරුන්ට ලබා දෙන පෝෂණය, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ආදී සියලූම පහසුකම් ද ලබා දෙනු ලැබේ. එපමණක් නොව මේ සියලූ කටයුතු වැවිලි මානව සංවර්ධන භාරයේ (PHDT) අධීක්ෂණය යටතේ සිදු වෙයි. එමෙන්ම කලාපීය වැවිලි සමාගම්වලට අයත් සියලූම වතුවල සේවය කරන වතු කම්කරුවන්ට රුපියල් දහසක වැටුප් දීමනාව ලබා දීමට කටයුතු කර ඇති බව ද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නැවත අවධාරණය කරයි.

    පඩි පාලක සභාවේ නිර්දේශය අනුව මෙරට වැවිලි කර්මාන්තයේ ඉහළම වැටුප හිමි වන්නේ වතු කම්කරුවන්ට බව මෙහිදී අප අමතක නොකළ යුතුය. තවද ආර්ථික අර්බුදය සමඟින් රටේ දැනට තිබෙන තත්වය අනුව වතු කම්කරු ජනතාවගේ පමණක් නොව රටේ සමස්ත ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් තිබෙන පසුබිමක ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මතය වන්නේ රටේ ආර්ථිකය යහපත් තත්වයට ගෙන එන තුරු වත් අසීරුවෙන් හෝ ශ්‍රී ලාංකිකයින් ලෙස අප මෙම තත්වය කළමනාකරණය කරගත යුතු බවයි. එමෙන්ම රුපියල් දෙදහසට වඩා වැඩි ආදායමක් වතු කම්කරුවන්ට උපයා ගත හැකි බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නැවතත් අවධාරණය කර සිටී. ඒ සඳහා ආදායම් බෙදා ගැනීමේ ආකෘතියක් ඔවුන් විසින් යෝජනා කර තිබේ. එහිදී වතු කම්කරුවන්ට ඔවුන් දෛනික නෙලා ගනු ලබන දළු ප‍්‍රමාණය මත පදනම්ව ඔවුන්ගේ ඉපැයීම් ඉහළ නංවා ගැනීමට හැකියාව ඇත.

    කුඩා තේ වතු හිමියන්ගේ ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වය පිළිබඳව සිහි තබා ගනිමින් මෙරට කලාපීය වැවිලි සමාගම් (RPCs) කම්කරු අමාත්‍ය හා වෘත්තීය සමිති නායකයින් සමඟ මෑතකදී සිදු කළ සාකච්ඡා අතරතුර වතු කම්කරුවන්ගේ දෛනික ඉපැයීම් ඉහළ දැමීම අරමුණු කරගත් සාම්ප‍්‍රදායෙන් බැහැර වූ නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

    සාම්ප‍්‍රදායික දෛනික වැටුප් ආකෘතිය සහ කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රයේ විශාල සාර්ථකත්වයක් අත් කර දුන් ඵලදායිතාවය හා සම්බන්ධ වැටුප් ක‍්‍රමවේදය යන ආකෘති ද්විත්වය එකතු කර සෑදු යෝජනා මෙම නව හඳුන්වා දීමට ඇතුලත්ය. ඵලදායීතාවය මත පදනම් වූ කොටසක් එක් කිරීම මගින් වතු කම්කරුවාගේ ඉපැයීම් ඉහළ යෑම සහතික වනු ඇති අතරම ඔවුන්ගේ මාසික ඉපැයීම් වඩාත් නම්‍යශීලිව හා පාලනයකින් කළ හැකි වනු ඇත.

    නව යෝජනා යටතේ කලාපීය වැවිලි සමාගම් ස්ථාවර දෛනික වැටුප් ලබා දීම අඛණ්ඩව සිදු කරනු ඇති අතර පැමිණීමේ දීමනා, ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා කම්කරුවන්ව දිරිගැන්වීමක් ලෙස ලබා දෙන ගෙවීම් ආදිය නැවත හඳුන්වා දෙනු ඇත. එමෙන්ම දින තුනක දෛනික වැටුපක් හා දින තුනක ඵලදායිතාවය මත පදනම් වූ ගෙවීමක් යන වැටුප් ක‍්‍රමවේද දෙකෙහි එකතුවක් ද සමඟින් නව යෝජනාවක් RPCs හඳුන්වා දී ඇති අතර එහිදී කම්කරුවන්ට ඔවුන්ගේ අස්වැන්න මත පදනම්ව ඔවුන්ගේ ඉපැයීම් ඉහළ නංවා ගැනීමට හැකියාව ඇත.

    ඵලදායිතාව හා බැඳුනු නව යෝජනා යටතේ ඉදිරිපත් කර ඇති පළමු විකල්ප යෝජනාව වන්නේ කම්කරුවන් විසින් නෙලන ලද සෑම අමු තේ දළු කිලෝග‍්‍රෑම් එකක් සඳහා (EPF/ETF ඇතුළුව) රුපියල් පනහක මිලක් ගෙවීමයි. ඒ අනුව වතු කම්කරුවන් දිනකට තේ දළු කිලෝග‍්‍රෑම් 30-40ත් අතර ඉහළ තේ අස්වැන්නක් ලබා ගන්නා විට (දැනට පවතින සම්මතයට වඩා) ඔවුන්ගේ ඉපැයීම් වඩාත් ඉහළ නංවා ගැනීමට මෙහිදී හැකියාව ලැබේ. රුපියල් 50/-ක ගෙවීම අනුව තේ දළු කිලෝග‍්‍රෑම් 20ක් නෙලන කම්කරුවෙකු සඳහා දිනකට රුපියල් 1000/-ක ගෙවීමක් ලැබෙනු ඇති අතර එහිදී මාසික වැටුප වන්නේ රුපියල් 25,000/-කි. වර්තමානයේදී කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතුවල තේ දළු නෙලීමේ සාමාන්‍ය දිනකට කිලෝග‍්‍රෑම් 20-22ත් අතර වේ. කෙසේවෙතත් හොඳම තේ දළු නෙලන්නන්ගෙන් බහුතරයකගේ දිනක අස්වනු නෙලීමේ සාමාන්‍ය වන්නේ තේ දළු කිලෝග‍්‍රෑම් 30-40ත් අතර ප‍්‍රමාණයකි. මින් අදහස් වන්නේ එම වැටුප මාසිකව රුපියල් 37,500/- සිට රුපියල් 62,000/-ක් දක්වා වැඩි කර ගැනීමට මෙම ක‍්‍රමය යටතේ වතු කම්කරුවන්ට හැකියාව ඇති බවයි.