ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ 14,000 ක් හිරවෙලා

    January, 13, 2020

    වසර ගණනාවකට පසු මුදල් අමාත්‍යාංශය‍ සහ මහ බැංකුව ජනතාවට ඇහුම්කම් දෙන රාජ්‍ය ආයතන බවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි.

    මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වසර ගණනාවක පසු ජනතාවට ඇහුම්කන් දෙන රාජ්‍ය ආයතන බවට පත්ව ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. වත්මන් රජය බලයට පත්ව ගෙවී ගිය කෙටි කාලය තුළ විවිධ පාර්ශ්වයන් සිය අමාත්‍යාංශයට පැමිණ ඉදිරිපත් කරල ලද විවිධ යෝජනා සහ දුක් ගැනවිලි ඊට කදිම උදාහරණය බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ අද (13) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින්. උතුර සහ උතුර මැද පළාත්වල ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

    දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අවම තරමින් 14,000ක පමණ පිරිසක් විවිධ මට්ටමේ ණය මුදල් ලබා ගෙන ඒවා ගෙවා ගත නොහැකිව අසරණභාවයට පත්ව ඇති බව මෙහි දී අනාවරණ විය. ඔවුන්ට සහන සැලසීම සඳහා ඉහත වැඩසටහන මගින් රුපියල් මිලියන 250ක මුදලක් රජය විසින් මීට පෙර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබා දී තිබේ. නමුත් එම මුදලින් මෙතෙක් සහන ලබා දිය හැකි වී ඇත්තේ පුද්ගලයන් 227 දෙනෙකුට පමණි.  ඊට හේතු වී ඇත්තේ රුපියල් 40,000කට වඩා අඩු ණය මුදල් ලබා ගත් පිරිසට පමණක් සහන ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බැවිනි. එසේ ම 2018 වසරේ මැයි 31වැනිදා පෙර ණය මුදල් ලබාගත් අය වෙනුවෙන් පමණක් අදාළ සහන සැලසීම ද මේ තත්ත්වයට හේතු වී ඇත. ඒ වෙනුවෙන් ලබා දී ඇති රුපියල් මිලියන 250න් මෙතෙක් වැය කිරීමට හැකි ව ඇත්තේ රුපියල් මිලියන 9.76ක් පමණක් බව ද මෙහි දී අනාවරණ විය.

    36% සිට 250% වැනි අධික පොලියක් යටතේ ලබා ගන්නා මෙම ණය මුදල් හේතුවෙන් සිය දිවි නසා ගැනීම් ඇතුළු සමාජ ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබේ. මෙම ජනතාවගෙන් බහුතරයක් අදාළ ණය මුදල් ලබාගෙන ඇත්තේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සහ පරිභෝජනය සඳහා වීම ද විශේෂත්වයකි.

    එහි දී අදහස් දැක් වූ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

    නියගය ඇතුළු ස්වාභාවික විපත් හේතුවෙන් ගොවි ජනතාව විශාල වශයෙන් ණය ගෙවා ගත නොහැකි තත්ත්වය පත්ව තිබේ. කන්න කිහිපයක් හානි සිදු වූ අවස්ථාවල දී ඉතාම සරල කොන්දේසි යටතේ නිවසට ම පැමිණ ලබා දෙන අදාළ ණය මුදල් පරිභෝජනය සඳහා වැය කිරීම ඉතාම සුලභව දැකිය හැකිය. 52% පමණ සිට ඉතා විශාල පොලී අනුපාත යටතේ ඇති මෙම ණය මුදල් වෙනුවෙන් තමන් ගෙවිය යුතු පොලී මුදල කොපමණ දැයි මෙම ජනතාව නොදැන සිටීම ද සුවිශේෂී තත්ත්වයකි. රුපියල් 100 හෝ 1000කට ගෙවිය යුතු පොලී මුදල පමණක් සඳහන් කරමින් සත්‍ය වසන්කොට ලබා දෙන මෙම ණය මුදල් පියවීම සේම යළිත් එම ජනතාව එවැනි ණය මුදල් ලබා ගැනීමට පෙළඹීම වැළැක්වීම ද රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    මෙම ගැටලුව හුදෙක් එම ජනතාවගේ ම ප්‍රශ්නයක් නොවන බවත්, අධික ජීවන වියදම හමුවේ ඔවුන් විකල්ප නැති තත්ත්වයකට පත්වීම ද ඊට හේතුව බව අමාත්‍යවරයා පැවැසීය.

    රජය බලයට පත්ව කෙටි කාලයක් තුළ ජනතාව සහ විවිධ සංවිධාන අමාත්‍යාංශය වෙත පැමිණ විවිධ යෝජනා සහ දුක් ගැනවිලි ඉදිරිපත් කළ බවත් ඒ සියලු දේට ඇහුන්කන් දෙමින් සැබෑ තත්ත්වයන් අවබෝධ කර ගැනීමේ රජයේ අපේක්ෂාව බවත් සේමසිංහ මහතා කියා සිටියේ ය. අද මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව වඩාත් ජනතාවට සමීප වෙමින්, ජනතාවට ඇහුන්කම් දෙන රාජ්‍ය ආයතන බවට පත්ව ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට හැකි වන පරිදි තීන්දු තීරණ ගැනීම රජයේ අරමුණ බවයි.

    මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 250ක් තරම් මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලැබී තිබිය දී ඒවා වැය කර ගත නොහැකි තත්ත්වයට පරිපාලනය පත්වීමෙන් පැවැති පාලනයේ අක්‍රමවත් බව මොනවට පැහැදිලි වන බව ද හෙතෙම අවධාරණය කළේ ය. ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනතාව ක්ෂුද්‍ර මූල්‍යකරුවන්ගේ රැහැණින් මුදා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ද අමාත්‍යවරයා පැවැසීය.

    බලයට පත් වූ සැණින් ජනතාවට බදු සහන ලබා දුන් රජය ඉන් පසුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාසායකන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුතු කළේ ය. බදු පහත හෙලීමෙන් ලැබෙන ආදායම් ලබා ගන්නේ කෙසේ දැයි ඇතැමුන් ප්‍රශ්න කළ ද රජයේ අපේක්ෂාව වන්නේ ජනතාවගෙන් බදු මුදල් ලබාගෙන භාණ්ඩාගාරයේ ගොඩගැසීම නොව මුදල් සංසරණය වේගවත් කිරීම බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

    සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක, අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ කේ.වී.එස්. නයනානන්ද යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රදේශීය ලේකම්වරු මෙම අවස්ථාවට එක් වූහ.