කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා වැවිලි ක්ෂේත‍්‍රයේ දායකත්වය

    April, 6, 2022

    අද වන විට කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තා ස්වාධීනත්වය වැනි තේමාවන් වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇත්තේ පශ්චාත් කොවිඞ් කාලයේ පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ තම පවුලට ශක්තියක් වීම උදෙසා කාන්තා දායකත්වය අත්‍යවශ්‍ය කාරණයක් වන බැවිනි. කාන්තාවන් ලෝක ශ‍්‍රම බලකායෙන් 40% ක් පමණ නියෝජනය කරන අතර බොහෝ රටවල කාන්තා ශ‍්‍රමය ආර්ථික සංවර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වී තිබෙනු දක්නට ලැබෙයි.

    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගමක් වන කැළණි වැලි වැවිලි සමාගම (KVPL) තේ දළු නෙලන්නියන්ගේ සිට කළමනාකරණ භූමිකා දක්වාම කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදෙයි. එහිදී අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ කැළණි වැලි වැවිලි සමාගම රැකියා අවස්ථා පිරිනැමීමෙන් ඔබ්බට ගොස් කාන්තාවන් උදෙසා විවිධ වූ වැඩසටහන් දියත් කරමින් ඔවුන්ව ආර්ථිකමය, සමාජීය, සෞඛ්‍යමය, අධ්‍යාපනික සහ සංස්කෘතිමය ආදී වූ සෑම පැතිකඩකින්ම සවිබල ගැන්වීමයි. එය කාන්තා ස්වාධීනත්වය වෙනුවෙන් මහඟු පිටිවහලකි.

    කැළණි වැලි වැවිලි සමාගම හා අත්වැල් බැඳගනිමින් තම ජීවිත ජයගත් කාන්තාවන් දෙදෙනෙකු අප සමඟ ඔවුන්ගේ අත්දැකීම් මෙසේ බෙදාහදා ගන්නා ලදි.

    කැළණි වැලි වැවිලි සමාගම (KVPL) හි මානව සම්පත් සංවර්ධන සහ සෞඛ්‍ය පිළිබඳ සහකාර කළමණාකරු ලෙස සේවය කරන හේමමාලී පරණවිතාන මහත්මිය තමා මෙම ආයතනය තුළින් ලද අත්දැකීම් පිළිබඳව මෙසේ සඳහන් කළාය. ”මීට වසර 17කට ඉහතදී මම මගේ වෘත්තිය ජීවිතය ආරම්භ කරන්නේ වතු සෞඛ්‍ය නිලධාරිනියක් විදිහට. 2016 වසරේ දී මානව සම්පත් සහ සෞඛ්‍ය පිළිබඳ විධායක නිලධාරිනියක් ලෙස මම කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් සමඟ එකතු වුණා. මම දැනට හැටන් ප‍්‍රදේශය මූලික කරගෙන තමයි සේවය කරන්නේ. මගේ ගෙදර විස්තර ගැන කිව්වොත් මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. මගෙ මහත්තයා ආයතනයක කළමණාකරුවකු ලෙස සේවය කරනවා. මගෙ වෘත්තිය ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් මට ලොකු සහයක් ලබාදෙනවා.”

    -හේමමාලී පරණවිතාන මහත්මිය-

    KVPL හි මානව සම්පත් සංවර්ධන සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලය වසරේ දින 365 ම පැය 24 පුරාවටම 9000 ක් පමණ වූ වතුසේවකයින් වෙනුවෙන් මෙන්ම 140,000 ක් පමණ වූ සේවක පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ද ඇප කැපවී සිටියි. මෙම ප‍්‍රජාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, අධ්‍යාපනය, ලිංගික හිංසන, පෝෂණය ආදී එකීමෙකී සෑම අංශයක් කෙරෙහිම වගකීමෙන් බැඳී සිටියි. දරුවෙකු කුසට පැමිණි දිනයේ සිට එම මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්වය සහ පෝෂණය ගැන විශේෂ අවධානයක් යොමු කරයි. එමෙන්ම ගර්භනී සායන, ළදරු සායන, එන්නත්කරණ වැඩසටහන්, මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, බෙහෙත්ශාලාව හරහා පුළුල් සේවා සමුදායක් ක‍්‍රියාත්මක වෙයි. දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම හරහා දරුවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන නිසා මවුවරුන්ට සිතේ සැනසීමෙන් රැකියාවට පැමිණීමට අවස්ථාව ලැබේ. එමඟින් ආයතනයටද ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබාගත හැකිය. හේමමාලී මහත්මිය තමන්ගේ සහ ඇයගේ කණ්ඩායමේ වෘත්තිමය භූමිකාව පිළිබඳව ඒ අයුරින් පැහැදිලි කළාය.

    ”අපි අපගේ වතු ප‍්‍රජාව වෙනුවෙන් සනීපාරක්ෂාව, පෝෂණය, ලිංගික අධ්‍යාපනය, පවුල් සංවිධානය, ලිංගික හිංසනය ආදී විවිධ වූ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරනවා.  තරුණ යුවලක් විවාහ වූ දින සිටම අපි ඔවුන්ව දැනුවත් කරන අතර නිරෝගී දරුවෙකු සඳහා අවශ්‍ය පෝෂණය ලබාදීමට කටයුතු කරනවා. කියන්න සතුටුයි මෙම වැඩසටහන් වල ප‍්‍රතිඵලයක් විදිහට පසුගිය වසර පහ තුළ කිසිම මාතෘ මරණයක්වත් වාර්තා වුණේ නෑ. විශේෂයෙන්ම අපි මොවුන් වෙනුවෙන් අක්ෂි සායන දියත් කරනවා. දැනට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 150 ක් පමණ අපි සිදුකරලා තිබෙනවා. ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම සායන හරහා මුල් අවධියේදීම බෝ නොවන රෝග හදුනාගෙන ඊට ප‍්‍රතිකාර කර ජීවිත බේරගන්න අපිට හැකි වුණා. ඒ වගේම අපගේ ප‍්‍රජාවගේ පෝෂණය ගැනත් අපි විශේෂ අවධානයක් යොමු කරනවා.” යනුවෙන් හේමමාලී මහත්මිය පැවසුවාය.

    KVPL හරහා සිදුවන සමාජ බලගැන්වීම් පිළිබඳ ඇය තවදුරටත් කියා සිටියේ තෘප්තිමත් හැඟීමකින්ය. කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා තේ දළු නෙළන්නියන්ගේ සිට කළමණාකරුවන් දක්වා සියලූ දෙනාම වෘත්තිමය ජීවිතය තුළ ඉදිරියට යාමට දිරිගන්වමින් පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබයි. එමෙන්ම ගෘහණියන් උදෙසා ද ගෙවතුවගා වැඩසටහන් දියත් කරයි. එමෙන්ම විවිධ කමිටු පිහිටුවමින් දැනුවත් කිරීම් සිදුකරමින් කාන්තාවන් තුළ විශ්වාසය ඇති කර නායකත්ව අවස්ථා සලසන අතර කණ්ඩායම් නායකත්වය ලබාදෙමින් ඔවුන්ට ඉදිරියට යාමට මඟ පෙන්වයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලිංගික හිංසන, කාන්තා හිංසන මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය අවම වී ඇත. ආර්ථික කළමනාකරණය පුහුණු කිරීමේ අරමුණින් වැටුප් ලබන දිනට ජංගම බැංකු සේවාව වත්තට ගෙන ගොස් ඔවුන්ට බැංකු ගිණුමක ඉතිරි කිරීමට පහසුකම් ලබාදෙයි. ඔවුන්ව ඒකාකාරී ජීවිතයෙන් මුදාගැනීමේ අරමුණින් විනෝද චාරිකා රැගෙන යාමට කටයුතු කරන අතර කොළඹ දැකබලා ගැනීමට පවා අවස්ථාව උදා කර දී තිබෙයි.

    ”ඇත්තෙන්ම සතුටට කරුණක් වන්නේ වතු ප‍්‍රජාවගේ දරුවන් දැන් පෙරට වඩා හොඳ අධ්‍යාපනයක් ලැබීමයි. වෛද්‍ය විද්‍යාලය, නීති පීඨය ඇතුළුව විශ්ව විද්‍යාල වරම් ලබන්න ඔවුන් සමත් වුණා. මෙවරත් දරුවන් 23 දෙනෙකු පමණ සරසවි වරම් ලැබුවා. අපි ඔවුන්ව රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කරනවා. වැඩිදුර අධ්‍යාපනය ලැබීමට නොහැකි වූ දරුවන්ට ඔවුන්ගේ ජීවිත ජය ගැනීම උදෙසා හොද වෘත්තිමය අධ්‍යාපනයක් ලබාදෙනවා.” ලෙස ඇය සතුටින් පැවසුවාය.

    ”විශේෂයෙන් කොවිඞ් කාලයේ අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ අපේ ජනතාව ගොඩක් දැනුවත් කළා. නොමිලේ මාස්ක් ලබාදුන්නා. කෑම බීම නිවෙස් වලටම ගිහින් දුන්නා. අපගේ උත්සහයේ ප‍්‍රතිඵලයක් විදිහට කිසිදු සේවක මරණයක් වාර්තා වුණේ නෑ. ඒ කාලයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම උදෙසා DP Education යොදාගත් අතර online හරහා පාසලේ ඉගනුම් කටයුතු සඳහා සම්බන්ධ වීමට දුරකථන සංඥා පහසුකම ඇති තැනක් සූදානම් කර දුන්නා.” කොවිඞ් කාලයේ දී අභියෝග වලට නොබියව මුහුණදුන් ආකාරය ගැන සඳහන් කරමින් ඇය එසේ ප‍්‍රකාශ කළාය.

    KVPL හි පිරිවැටුප් බෙදා ගැනීමේ ක‍්‍රමවේදය යටතේ තේ ඉඩම් කට්ටියක හිමිකාරිත්වය දරමින් තම ජීවිකාව ජයගත් වත්සලා කුමාරි මහත්මිය ස්වාධීනව නැගීසිටීමේ වටිනාකම ඉස්මතු කරමින් මෙසේ අදහස් දැක්වූවාය.

    ”මම දරුවන් හතර දෙනෙකුගෙ මවක්. මම සා.පෙළ දක්වා ඉගනගෙන තියනවා. මගෙ මහත්තයා ගැරෙජ් එකක් කරනවා. අද කාලෙ එක්කෙනෙක් විතරක් රැකියාවක් කරලා පවුලක් නඩත්තු කරන්න බෑ. මහත්තයාට ශක්තියක් දෙන්න තමයි මමත් රැකියාවට එන්නෙ. මේ රස්සාව අනිත් රස්සා වගේ පීඩනයක් නෑ. අපි හරි නිදහසේ රස්සාව කරනවා. ඇත්තටම මම හරිම සතුටින් තමයි මගෙ රැකියාව කරන්නෙ. උදේ 7 ට මම වැඩට එනවා. 8 ට වැඩ පටන්ගන්නවා. අපි හැමෝම එක පවුලක් වගේ වැඩ කරනවා. හැමදේම විවෘතව කතා කරන්න හැකි වාතාවරණයක් මෙතන තියනවා.” යනුවෙන් ඇය ඉතා සතුටින් පැවසුවාය.

     

    -වත්සලා කුමාරි මහත්මිය-

    අවු 12, අවු 9, අවු 4 සහ මාස 4 යන වයස් වල පසුවන දරුවන් සිව්දෙනෙකුගේ මවක් වන ඇය පවුලේ වැඩකටයුතු සහ වෘත්තිමය වගකීම් සමබරව කරගෙන යන ආකාරය ඇගයීමට කරුණකි. ඇය පවසන පරිදි දරුවන්ට තමන්ගේ වැඩ තනිව කරගැනීමට පුරුදු පුහුණු කර ඇති අතර සැමියා ද ඇයට විශාල සහයක් ලබාදෙයි. වත්සලා මහත්මිය කියා සිටින්නේ පවුලක් ලෙස වැඩකටයුතු බෙදාහදා ගෙන මනා පාලනයකින් සිදු කරන්නේ නම් කාන්තාවකට වෘත්තියක් කරගෙන යාම එතරම් දුෂ්කර නොවන බවයි. එමෙන්ම ඇයගේ වැටුප සියළු දෛනික අවශ්‍යතා වෙනුවෙන් වැය කරමින් සැමියාගේ වැටුප ඉතිරි කරන බව පැවසුවාය. එමඟින් පෙනීයන්නේ ඇය මුදල් කලමනාකරණය කිරීම පිළිබඳව ද මනා සැලකිල්ලක් දන්වන බවයි. තම දරුවන්ටද අරපිරිමැස්මෙන් වැඩ කිරීමට උගන්වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

    ”මගෙ ජීවිතයේ අංක එක මගෙ රස්සාව. මොකද අපි කාටවත් අතනොපා ජීවත් වන්නේ මේ රස්සාව නිසා. මම කියන්නෙ අපි කාගෙන් වත් ඉල්ලන්නෙ නැතුව අපෙන් අනිත් අයට උදවුවක් කරන්න හැකි නම් ඒකයි වටින්නෙ. කොරෝනා කාලයේ උනත් අපේ අසල් වැසියන් ගොඩක් කරදර වලට මුහුණ දුන්නා. අනිත් ළමයි බඩගින්නෙ ඉද්දි අපේ ළමයින්ට ආහාර වලින් අඩුවක් වුණේ නෑ. අපි අනිත් අයටත් අපිට හැකි විදිහට උදවු කළා. ඒ හැමදේම මගෙ රස්සාව නිසා. මම මගෙ රස්සාවට ගොඩාක් ආදරෙයි. රස්සාව මගෙ දරුවෙකු වගේ.” යනුවෙන් ඇය නෙතඟ රැඳි සතුටු කදුළු සහිතව පැවසුවාය.

    කාන්තාවක් ලෙස ස්වාධීනව කටයුතු කිරීමේ වටිනාකම, ඉන් රටට සහ සමාජයට වන සේවය සහ ඒ තුළින් ලබන තෘප්තිය පිළිබඳව හේමමාලී මහත්මිය සහ වත්සලා මහත්මියගේ අදහස් වලින් මනාවට තහවුරු වේ.

    කාන්තාවන් පවුල තුළ මනා ආර්ථික කළමනාකරණයක් පවත්වාගෙන යෑමට පියවර ගනිමින් නිරෝගී, සෞඛ්‍ය සම්පන්න සහ දැනුමින් පොහොසත් දරු පරපුරක් බිහි කිරීම සඳහා සිය දිවිය කැප කරමින් සංවර්ධන ක‍්‍රියාවලියට ද දායක වෙයි. එවැනි කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ට වෘත්තිමය අවස්ථා ලබා දෙමින් සාර්ථක වෘත්තීය ජීවිතයකට සමගාමීව තෘප්තිමත් පෞද්ගලික ජීවිතයක් ගතකිරීම උදෙසා KVPL වැනි ආයතන ලබාදෙන ශක්තිය සැබවින්ම අගය කල යුතුය.