කාන්තා කළමනාකරණ ආයතනය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ ඕස්ට්‍රේලියා රජය එක්වී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වෘත්තීය කාන්තාවන් වෙනුවෙන් විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල පවත්වයි

    January, 19, 2022

    කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය එක්වී පසුගියදා විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල (Professional and Career Women Awards) උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. මෙහිදී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, විවිධ වෘත්තීන් හා ව්‍යාපාර ක්ෂේත්‍රයන් ජයගත් කාන්තාවන් 50 දෙනෙක් ඇගයීමට ලක්වූහ.

    මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ 11 වන වරට වන අතර, හෝටල් හා සත්කාරක සේවා, බැංකු හා මූල්‍ය සේවා, කාර්ය සම්පාදන හා සැපයුම් දාම, ව්‍යවසායකත්ව, ජනමාධ්‍ය, සහ නීතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින්, සමාජයට ආදර්ශයක් වූ කාන්තාවන් පිරිසකට මෙහිදී සම්මාන පිරිනමන ලදි.  එමෙන්ම රැකියා ස්ථාන තුළ කාන්තාවන්ගේ දියුණුවට අත්වැලක් වෙමින් ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කළ සමාගම් හා ආයතනද මෙහිදී ඇගයීමට ලක්විය.

    ආචාර්ය මහේෂි රාමසාමි (වසරේ ආදර්ශමත් වෘත්තීය කාන්තාව), මහාචාර්ය නදීරා කරුණාවීර (වසරේ ආදර්ශමත් කාන්තාව), අරුණි ගුණතිලක (වසරේ පුරෝගාමී කාන්තාව), රන්දුලා ද සිල්වා (වසරේ පෙරළියක් සිදු කළ කාන්තාව) සහ ආචාර්ය වජිරා චිත්‍රසේන (විනිශ්චය මණ්ඩලයේ සම්මානය) විසින් මෙම සම්මාන උළෙලේ ප්‍රධාන පෙළේ සම්මාන දිනාගන්නා ලදි. එදින පිරිනමන ලද සියලුම සම්මාන සහ එම සම්මානලාභීන් පිළිබඳ විස්තර පහතින් දක්වා තිබේ.

    “2021 විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල, අභියෝග ජයගැනීමේ හැකියාව, සුභවාදී දැක්ම, කැපවීම සහ වර්ධනය යනාදිය ඇගයීමට ලක් කළ සම්මාන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකියි. ගෝලීය COVID-19 වසංගතයේ තුන්වැනි වසරට අප එළඹී සිටින මේ මොහොතේ, මේ සම්මානලාභීන් අපට සිහිපත් කරන්නේ දුෂ්කරම කාලවල පවා දියුණුව සඳහා අවස්ථාවන් හා හැකියාවන් පවතින බවයි. එමෙන්ම පොදු යහපත වෙනුවෙන්, සම්මතයන්ට අභියෝග කරමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කාන්තාවන්ට ඇති හැකියාව එය අපට පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවන් ඉදිරියට පැමිණීමට මැළිකමක් දැක්වීම, අපට නිතර දකින්නට ලැබෙන දෙයක්. එහෙත් පසුගිය දශකයකට අධික කාලය තුළ, කාන්තාවන් අත්පත් කරගත් ජයග්‍රහණ ඇගයීමට ලක්කරමින්, එබඳු ජයග්‍රහණ හඹා යාමට අනෙකුත් කාන්තාවන්ද දිරිමත් කිරීමට, මෙම සම්මාන උළෙල විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා.” කාන්තා කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ/ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා පැවසුවා ය.

    මේ දක්වා 470 කට අධික පිරිසක් විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල වලදී සම්මාන වලින් පිදුම් ලබා තිබේ. ව්‍යාපාරික/ආයතනික නායිකාවන්, කාර්ය මණ්ඩල සාමාජිකාවන්, ව්‍යවසායිකාවන් සහ, රටේ තිරසාර හා අන්තර්කරණය වූ ආර්ථික වර්ධනයක් උදෙසා නන් අයුරින් දායක වන අනෙකුත් කාන්තාවන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වී ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මෙම සම්මාන උළෙලේ සම-සත්කාරකත්වය දරන සත්වැනි වසර මෙයයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) වික්ටර් ඇන්ටනිපිල්ලේ මහතා පැවසුවේ, ශක්තිමත්ව නැවත නැගී සිටීමට නම්, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුම පාර්ශ්වයන්ට සමාන අවස්ථා හිමි විය යුතු අතර, කාන්තාවන්ට නිසි ප්‍රමුඛත්වය හිමි විය යුතු බවයි. එමෙන්ම ආර්ථිකයන්ට හා සමාජයන්ට වඩාත් ශක්තිමත් ලෙස නැවත නැගී සිටිය හැකි සාධාරණ පසුබිමක් නිර්මාණය කිරීමට සැමදෙනාම කැපවිය යුතු බව අවධාරණය කළ ඒ මහතා, ‘IFC-DFAT Women in Work’ වැඩසටහන සමගින්, වසංගත තත්ත්වය හමුවේ කාන්තාවන් ප්‍රදර්ශනය කළ ශක්තිමත් නායකත්ව ගුණාංග ඇගයීමට ලක්කිරීම මෙවර සම්මාන උළෙලේ ඉලක්කය වූ බව පැවසී ය.

    “වසර ගණනාවක් පුරා මෙම සම්මාන උළෙල, ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මෙන්ම පොදු සමාජය තුළ ප්‍රමුඛ පෙළේ කාන්තාවන්ගේ නායකත්වයේ හා පුරෝගාමීත්වයේ බලය පෙන්වා දෙමින්, අනෙකුත් කාන්තාවන්ද එලෙස ඉදිරියට පැමිණීම සඳහා දිරිගන්වා තිබෙනවා. මෙවර පිරිනැමෙන සම්මාන, විශේෂයෙන්ම COVID-19 හේතුවෙන් මතු වූ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට සමත් වීම වෙනුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවන්ට පිදෙන උපහාරයක් ලෙස හැඳින්විය හැකියි.” ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා පැවසී ය.

    මෙවර විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබාදෙන ලද්දේ Dialog ආයතනය විසිනි. Salota International සහ Singer රන් අනුග්‍රාහකයන් ලෙසද, Lanka IOC, Unilever, Vision Care සහ Aitken Spence රිදී අනුග්‍රාහකයන් ලෙසද කටයුතු කළ අතර, Maliban සහ සම්පත් බැංකුව එහි සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේ ය.  උත්සවයේ ත්‍යාග සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලද්දේ New Vivya ආයතනයයි.

    “මෙවර සම්මාන සඳහා නාමයෝජනා වූ සහ අයදුම් කළ කාන්තාවන්ගේ ජයග්‍රහණ වල ගුණාත්මකභාවය ඉතාමත් ඉහළයි. ජයග්‍රාහිකාවන් තෝරාගැනීමේදී ඔවුන්ගේ වෘත්තීය ජීවිත වල ජයග්‍රහණ වලින් නොනැවතී, ඔවුන් නිසා අදාළ ක්ෂේත්‍රයන්ට සිදුවූ යහපත් බලපෑම් සහ, තම ආයතන වල සේවය කරන සෙසු  කාන්තාවන් වෙනුවෙන් ඔවුන් ඉටුකළ ඇති කාර්යභාරය වැනි සාධකත් අප සැලකිල්ලට ගත්තා.” 2021 සම්මාන වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කළ, John Keells Holdings සමාගමේ නීති, ලේකම් සහ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී නදීජා තම්බයියා මහත්මිය පැවසුවා ය.

    විනිශ්චය මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නදීජා තම්බයියා මහත්මියට අමතරව Hayleys Agriculture Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන, Dreamron සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස්, Daily FT හි නිර්මාතෘ-සංස්කාරක සහ ප්‍රධාන විධායක නිලධාරී නිස්තාර් කාසිම්, Clootrack Sri Lanka/Maldives & Pakistan හි ප්‍රධාන විධායක නිලධාරී රොහන්ත අතුකෝරල, Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා, ක්‍රමෝපායික අලෙවි වෘත්තීයවේදිනී සන්ධ්‍යා සල්ගාදු, KL.LK ප්‍රධාන විධායක නිලධාරී සන්තෝෂ් මෙනන්, ශ්‍රී ලංකාවේ වැඩ බලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අමැන්ඩා ජුවෙල්, සහ Women in Work, IFC හි වැඩසටහන් කළමනාකාරිනී සේරා ට්විග් යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජික සාමාජිකාවන් ලෙස කටයුතු කළහ.