කාන්තා දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ´දිනන ඇය` හඳුන්වා දෙයි

    March, 15, 2023

    මෙවර කාන්තා දිනය මූලික කරගනිමින් කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් දිරිගන්වන නව වැඩසටහනක් ´දිනන ඇය` නමින් හඳුන්වා දීමට සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව කටයුතු කර තිබේ. එමගින් කාන්තා ව්‍යවසායිකාවන්ට සිය අපේක්ෂාවන් සාර්ථක කර ගැනීමට බැංකුවක් ලෙස ශක්තියක් වීම සෙලාන් බැංකුවේ අපේක්ෂාව වෙයි. මීට අමතරව කාන්තා දිනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන යටතේ කුඩා හා මධ්‍යපරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක් ද හඳුන්වාදීමට සෙලාන් බැංකුව කටයුතු කර තිබේ.

    එහි මූලික පියවර ක්‍රියාවට නංවමින් තෝරාගත් කුඩා හා මධ්‍යපරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් පිරිසක් වෙත, සෙලාන් බැංකුව හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව පවත්වන සම්මන්ත්‍රණ, අධ්‍යාපනික හා ජාලගතකරණ වැඩසටහන් මාලාව ´දිනන ඇය` පසුගියදා රත්නපුර නගරයෙන් ආරම්භ කෙරිණ. ජාත්‍යන්තර ව්‍යාපාර හා සැපයුම් ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු ලෙස වසර 20කට අධික අත්දැකීම් සහිත ප්‍රභාත් මනිමෙල්දුර මහතා මෙහි සම්පත් දායකත්වය දැක්වීය.

    මෙම වැඩසටහන මගින් දිවයිනේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන කාන්තා ව්‍යවසායිකාවන්ට තමා සතු ව ඇති නිෂ්පාදන හෝ ව්‍යාපාර දියුණු කරගත හැකි ආකාරය, එකී නිෂ්පාදන සඳහා වෙළෙඳ පොල අවස්ථා මෙන්ම මූල්‍යකරණයේ යහ භාවිතාවන් ඇතුළුව වැදගත් තේමා රැසක් යටතේ දැනුවත් කිරීම සිදුකරන අතර, වෙළෙද පොළ තුළ තම නිෂ්පාදනයන් සඳහා ඇති ඉල්ලුම පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ආකාරය පිළිබඳවත් සෙලාන් බැංකුව හරහා කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වන ණය පහසුකම ලබා ගැනීම පිළිබඳවත් දැනුවත් කෙරේ.

    මෙම ණය යෝජනා ක්‍රමයේදී කාන්තා ව්‍යවසායිකාවන්ට රුපියල් මිලියන 30 දක්වා ණයක් 14%ක අවම පොලී අනුපාතයක් යටතේ ලබා දේ.  මෙහිදී ණය අයැදුම් කිරීමට නම් ව්‍යවසායෙන් අවම වශයෙන් 51%ක හිමිකාරීත්වය කාන්තාවන් සතු විය යුතු අතර,  20%ක් ව්‍යවසාය හිමිකාරිත්වය පාලනය කිරීම ප්‍රධාන විධායක නිලධාරී (CEO) හෝ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) යන අයගෙන් එක් අයෙකු හෝ  කාන්තාවක් විය යුතුය.

    කෘෂිකර්මාන්තය හෝ කෘෂි පදනම් කර්මාන්ත වල, ධීවර, ධීවර ආම්පන්න හෝ සුරතල් මසුන් ඇතිකිරීම, පශු සම්පත්, සත්ත්ව පාලනය හා කුකුළු ගොවිපල, සංචාරක ක්ෂේත්‍රය, අපනයන හා සම්බන්ධ ව්‍යාපාර ආදිය සඳහා මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක වේ.

    ආපසු ගෙවීමේදී ණය මුදල සඳහා සුදුසුකම් මත පදනම්වෙමින් ණය මුදලින් 25% දක්වා සහනයක්ද මූලික ණය මුදලින් 10%ක් හා ක්ෂේත්‍රය ආශ්‍රිත විශේෂිත පුහුණුව සහිත කාන්තාවන් සඳහා තවත් 10%ක සහනයක්ද ලබා දෙන අතර ඌව, සබරගමුව, උතුර සහ නැගෙනහිර පළාත් වල ව්‍යවසායිකාවන් සඳහා අමතර 5%ක සහනයක්ද ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.

    වඩා යහපත් අනාගතයක් උදෙසා කැපවන සෙලාන් බැංකුව, මෙරට සමස්ත කාන්තාවන්ගේ අධිෂ්ඨානශීලී හා නායකත්වය ගුණාංගය පෙන්නුම් කරන කාන්තා ව්‍යවසායිකාවන් දේශීය ආර්ථීකයේ ප්‍රධාන බලවේගය ලෙසින් සලකමින් මෙලෙස ඔවුන් දිරිගැන්වීම හා මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම  අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතියට එක්ව සිටී.

    ඒ අනුව ´දිනන ඇය`  වැඩසටහන මෙරට අනාගත කාන්තා මූලික ව්‍යාපාරයන්හි, කාන්තා ව්‍යවසායිකාවන් බලගැන්වීමේ යාන්ත්‍රණයේ මූලික පියවරක් ලෙස පෙන්වා දිය හැක.