කාබන් බද්ද අය කෙරෙන්නේ මෙහෙමයි

    January, 10, 2019

    මෝටර් රථවල ඉන්ධන දහනය සැලකිල්ලට ගෙන 2019 ජනවාරි 01 දින සිට කාබන් බද්දක් අයකිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක දී කොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.

    2018 අංක 35 දරණ මුදල් පනත මගින් මෙම අයකිරීම් සිදුකරනු ලබන අතර අවුරුදු 5 ට වඩා අඩු, අවුරුදු 5 – 10 අතරේ සහ අවුරුදු 10 ට වඩා වැඩි වශයෙන් යනුවෙන් කාණ්ඩ 3 ක් යටතේ මෙම කාබන් බද්ද අයකිරීම සිදුකෙරේ.

    මේ අනුව හයිබ්‍රිඩ් රථ සඳහා වසර 5 ට වඩා අඩු ඝන සෙ.මී. 1ට සත 25 ක්, වසර 5-10 අතර පැරණි වාහන සඳහා ඝන සෙ.මී. 1 ට සත 50 ක් හා වසර 10 ට වඩා පැරණි වාහන සඳහා ඝන සෙ.මී. 1 ට රු. 1.00 ක් වශයෙන් කාබන් බද්ද අය කිරීමට නියමිතය.

    එසේම හයිබ්‍රිඩ් නොවන පෙට්‍රල් හා ඩීසල් මෝටර් රථ සඳහා මෙම බද්ද අදාළ වර්ෂවලට අනුව පිළිවෙලින් සත 50, රු. 1 හා රු. 1.50 ක් වශයෙන් වේ.

    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා මෙසේ පැවසීය.

    “අවුරුදු 5 ට වඩා අඩු ඝන සෙ.මී. 1 කට සත 25 යි. අවුරුදු 5 ට වඩා අඩු එන්ජින් ධාරිතාව 1,000ට වඩා අඩු මෝටර් රථයක් සඳහා වර්ෂයකට කාබන් බද්ද රු. 250 ක්. මේ වාහන බද්ද අය කරනු ලබන්නේ ආදායම් බලපත්‍ර ලබා ගන්නා අවස්ථාවේ දී.“

    “මෙම වර්ෂයේ සිට මෙය ක්‍රියාත්මක වන නිසා මේ වර්ෂයේ දී පමණක් ආදායම් බලපත්‍ර නිකුත් කරන අවස්ථාවේ දී මේ ගැන සොයා බැලීමක් කරන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම 2020 වර්ෂයේ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී 2019 වර්ෂයේ කාබන් බද්දත්, 2020 වර්ෂයට අදාළ කාබන් බද්දත් අය කිරීම සිදු කරනවා.“