“කැපිටල් මාර්කට් මාස්ටර්ස්” පළාත් තරඟ අවසන් – ජාතික මට්ටමේ අවසන් තරඟය තරඟ නුදුරේදීම

    August, 14, 2024

    දිවයින පුරා ස්ථාපිත ප්‍රග්ධන වෙළෙඳපොල සංගම්වල තරුණ සමාජිකයන්ගේ දක්ෂතා සහ තරගකාරිත්වය ප්‍රදර්ශනය කරමින් පැවත්වූ 'කැපිටල් මාර්කට් මාස්ටර්ස්' (Capital Market Masters) අන්තර් ප්‍රග්ධන වෙළෙඳපොල සංගම් සියයේ  ප්‍රශ්න විචාරාත්මක තරඟ පළාත් මට්ටමින් සාර්ථකව අවසන් විය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 'කැපිටල් මාර්කට් මාස්ටර්ස්' තරඟ අවස්ථා සංවිධානය කරන ලදී. පළාත් මට්ටමේ තරඟ නිමාවත් සමඟ, මහත් අපේක්‍ෂාවෙන් බලා සිටින ජාතික මට්ටමේ තරඟය සඳහා ඉඩ ප්‍රස්ථා විවර වී ඇත.

    තුන්වන කාණ්ඩය

    තුන්වන කාණ්ඩයේ තරඟය සඳහා මධ්‍යම පළාතේ ප්‍රමුඛ පෙළේ පාසල් 11ක් සහභාගී වූ අතර එය 2024 අගෝස්තු 2 වැනි දින මහනුවර සම්පත් ශාලාවේදී පැවැත්විය. මහනුවර ධර්මරාජ විද්‍යාලය එහි ජයග්‍රාහක පාසල බවට පත් විය.

    සිව්වැනි කාණ්ඩය

    බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල පාසල් 38ක් සහභාගි වූ සිව්වැනි කාණ්ඩයේ තරඟය 2024 අගෝස්තු 5 වන දින ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

    ආනන්ද විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය සිව්වැනි කාණ්ඩයේ තරඟයේ සමස්ත ජයග්‍රාහකයින් මෙන්ම බස්නාහිර පළාතේ සම ශූරයින් බවට පත් විය. සබරගමුව සහ දකුණු පළාත්වලින් පිළිවෙළින් ර/සීවලී මධ්‍ය මහා විද්‍යාලය සහ හ/තංගල්ල බාලිකා විද්‍යාලය ජයග්‍රාහක පාසල් බවට පත්විය.

    පසුගියදා පැවති තරඟයේදී සිසුන් අමතමින් SEC නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා මෙලෙස ප්‍රකාශ කළේය. “සමාජයේ විවිධ කාණ්ඩ අතර මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කැපවී සිටියි. දිගුකාලීන සාර්ථකත්වය සඳහා කුඩා කල සිටම මූල්‍ය සාක්ෂරතාව ගොඩනැගීම ඉතා වැදගත් වේ. ජිවිතයේ මුල් කාලයේ පටන්ම, පුද්ගලයන්ට හිතකර මූල්‍ය පුරුදු වර්ධනය කර ගත හැකි අතර ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම තම මූල්‍ය කටයුතු ඵලදායි ලෙස හැසිරවීමට ඇති හැකියාව පිළිබඳව විශ්වාසයක් මේ තුලින් ගොඩනගා ගත හැකිය. අපගේ මෙම ප්‍රයත්නයන් හෙට දවසේ ආයෝජකයින් සවිබල ගැන්වීමට ඉවහල් වන බැවින් පාසල් සිසුන් අතර මූල්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් අපගේ මෙම ක්‍රියාපිළිවෙත පිළිබඳව අපි විශේෂයෙන් තෘප්තිමත් වෙමු.

    කැපිටල් මාර්කට් මාස්ටර්ස් ප්‍රශ්න විචාරාත්මක තරඟය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සුවිශේෂී සංවිධාන රැසක් අනුග්‍රාහකයන් ලෙස එක්වී ඇත:

    • ප්ලැටිනම් අනුග්‍රාහකයන්: බාට්ලීට් රෙලිගෙයාර් සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම සහ ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස්
    • නිල පෝෂණ හවුල්කරු: මැලිබන් මිල්ක් (පුද්ගලික) සමාගම
    • නිල ලිපිද්‍රව්‍ය සහකරු: ලුමිනෙක්ස් පීඑල්සී

    පළාත් මට්ටමේ තරඟ අවසන් වීමත් සමඟ ජාතික මට්ටමේ තරඟයට දැන් අවධානය යොමුව ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම අවස්ථාවට එක් එක් පළාතේ ජයග්‍රාහකයින් ඇතුළත් වන අතර ඔවුන් කැපිටල් මාර්කට් මාස්ටර්ස් වීම සඳහා තරඟ කරනු ඇත.

    බස්නාහිර පළාතේ සම ජයග්‍රාහක පාසල් වූ ආනන්ද විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

    සබරගමුව පළාතේ ජයග්‍රාහක පාසල ර/සීවලී මධ්‍ය මහා විද්‍යාලය

    දකුණු පළාතේ ජයග්‍රාහක පාසල හ/තංගල්ල බාලිකා විද්‍යාලය

     

    ඡායාරූප විස්තරය - මහනුවර ධර්මරාජ විද්‍යාලය, මධ්‍යම පළාතේ ජයග්‍රාහක පාසල