කෑගල්ලේ ලාභාංශය ආචාර්ය යද්දෙහිගේ ට එරෙහි වෙයි. සුරැකුම්පත් කොමිසමෙන් නඩු

    April, 1, 2019

    මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන, රිචඩ් පීරිස් සමාගම් සමූහයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාට විරුද්ධව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

    රිචඩ් පීරිස් සමූහයේ අනුබද්ධ සමාගමක් වන කෑගල්ල වැවිලි සමාගම විසින් 2015 ජූලි 10 වන දින සමාගමේ එක් කොටසක් වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද රු. 45.00 ක දැවැන්ත ලාභාංශය මේ සඳහා හේතු වී ඇත. මෙහිදී සුරැකුම්පත් කොමිසම කියා සිටින්නේ මෙකී ලාභාංශ ප්‍රකාශයට පෙර ඊට ආසන්න දිනක දී කෑගල්ල වැවිලි සමාගමේ කොටස් මිල දී ගැනීමක්, ආචාර්ය යද්දෙහිගේ විසින් සිදුකර ඇති බවයි.

    මෙය කොටස් වෙළෙඳපොළ අභ්‍යන්තරික වෙළෙඳාම (Insider trading) ගණයට ලා ගැනෙන වැරැද්දක් වේ.

    ආචාර්ය යද්දෙහිගේට අමතර, මෙම වරද සඳහා ඔහුට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත, සුබ්‍රමනියම් තිනමානි නැමැත්තෙකුට ද මෙහිදී චෝදනා ගොනු වී තිබේ.

    කෑගල්ල වැවිලි සමාගමේ මෙකී ලාභාංශය ප්‍රකාශයට පත්වීමත් සමඟ 2015 ජූලි 10 දින රු. 95 ක්ව පැවති සමාගමේ කොටසක මිල ඊට පසු ගනුදෙනු දිනය වූ 2010 ජූලි 13 දින රු. 140 ක් දක්වා දැවැන්ත ඉහළ යාමක් වාර්තා කළේය.